Save the environment, Save the future

“ඔබේ දරුවාත් දඩබ්බරද? තීන්ත ගනිද්දි ඊයම් ගැන බැලුවද?” (Did you check your paint for lead?)

දරුවකු දඩබ්බර ලෙස හැසිරෙන විට, ඉගැන්වීමේදී අවධානය යොමු නොකරන විට, ඇහුම්කන් නොදෙන විට අප බොහෝ විට සිදු කරන්නේ ඔහුට දඬුවම් කිරීමයි. ඊට හේතුව ලෙස සාමාන්‍ය වශයෙන් සලකන්නේ ඔහුට දෙමාපියන්ගේ අවධානය අවශ්‍ය බැවින් එසේ හැසිරෙන බවයි. නමුත් සත්‍ය වශයෙන්ම, දරුවකුගේ හැසිරීමට බලපාන විවිධ පරිසර දූෂකයන් සහ රෝගී තත්වයන් අද වන විට දියුණු රටවල් හෙළිකරගෙන තිබෙනවා. ඉන් එකක් වන්නේ ඊයම් නැමති බැර ලෝහයයි.ඊයම් යනු ඉතා විෂ බැරලෝහයක්, දරුවන්ගේ බුද්ධි වර්ධනයට අහිතකර ලෙස බලපාන එක් සාධකයක්. පර්යේෂණ වලට අනුව දරුවන් කුඩා කල රුධිරගත ඊයම් මටිටම ඩෙසි ලීටරයට මයික්‍රො ග්‍රෑම් 5-40 පමණ ප්‍රමාණයකට නිරාවරණය වූ විට ඔවුන්ගේ මොළයේ ධූසර ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඊයම් ශරීරගත වූ දරුවන්ගේ බුද්ධිමය වර්ධනයේ අඩුව දරුවන්ගේ දඩබ්බර මෙන්ම සමාජ විරෝධී හැසිරීම් වලට හේතු වනවා මෙන්ම දිගු කාලීනව රටක දළ දේශීය නිශ්පාදයට බලපෑම් ඇති කරන බවයි. මේ අනූව ඊයම් විෂවීම් නිසා සිදුවන ආර්ථික හානිය ගණනය කිරීමෙන් ඔවුන් පෙන්වා දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 992ක් ආර්ථිකයට අහිමි වන බවයි.

ඊයම් ශරීරගත වෙන්නෙ කොහොමද?

ප්‍රධාන වශයෙන්ම ඊයම් අඩංගු තීන්ත වර්ග මීට වගකිවයුතු වෙනවා. විශේෂයෙන්ම, තිනර්/ ටර්පන්ටයින් වැනි ද්‍රාවක වල දිය කරන තීන්ත වර්ග වල (එනම් ලැකර්, එනැමල්, ෆ්ලෝ පේන්ට්, මළ නොබැදෙන තීන්ත.. වැනි ) ඊයම් අඩංගු විය හැකියි.

මීට අමතරව, ඊයම් අඩංගු තීන්ත යොදා කෙරෙන මුද්‍රණ සහ මුද්‍රිත ද්‍රව්‍ය, සෙල්ලම් භාණ්ඩ, පාසල් උපකරණ, කෘතීම ආභරණ, ඊයම් අඩංගු ඉන්ධන, බැටරි, කේබල්, පිත්තල සහ ලෝකඩ නිශ්පාදන, ගැල්වනයිස් කිරීම, පෑස්සීම, ඇතැම් ඉලෙක්ට්‍රොනික උපකරණ විවෘත පරිසරයට බැහැර කිරීම ආදිය ඊයම් ශරීරගත වීමේ අනෙකුත් ප්‍රභව වෙනවා.

අද වනවිට, ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල්, තීන්ත වලින් ඊයම් ඉවත් කිරීමට නීතිමය පියවර ගෙන තිබෙනවා. නමුත්, ඇත්තෙන්ම ඒවා ඊයම් වලින් තොරද?

ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ අධ්‍යයනය කිරීමට පරිසර යුක්ති කේන්ද්‍රය පර්යේෂණ කිහිපයක්ම සිදු කරනු ලැබුවා. මුලින්ම 2010 වසරේදී සිදු කරන ලද පර්යේෂණයෙන් පසුව තමයි ශ්‍රී ලංකාවේ තීන්ත වලට නීතිමය රාමුවක් සැකසුනේ. මෙය, පරිසර යුක්ති කේන්ද්‍රයේ මූලිකත්වයෙන්, අලි සබි්‍ර මහතාගේ නීතීඥ දායකත්වයෙන් ගොනුකරන ලද නඩුවක ප්‍රතිඵලයක්. මීට පසුව 2012/13 වසරේදීත් 2015 වසරේදීත් නැවත මෙම ද්‍රාවක වල දිය කරන තීන්ත පර්යේෂණයට ලක් කරනු ලැබුවා. අවසන් වරට අපට දැකගත හැකි වූයේ තීන්ත වර්ග වලින් සියයට 54 කම (54%), නීතිමය ප්‍රමාණය වන මිලියනයට කොටස් (ppm) 600 ට අඩු මට්ටමින් ඊයම් අඩංගු බවයි. මෙයින් ද 43%කම ජාත්‍යන්තර ප්‍රමිතිය වන මිලියනයට කොටස් 90ට වඩා අඩුවෙන් ඊයම් අඩංගු බව පෙනුනා.

ඉතිරි 46%? ඇත්තෙන්ම එය පුදුමයට කරුණක්. පරිසර යුක්ති කේන්ද්‍රය මෙම කටයුත්ත සිදු කරද්දි තීන්ත සමාගම් අමතක කලේ නැහැ. විශාල මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ තීන්ත නිශ්පාදකයන්ව නිතර දැනුවත් කළා. ඔවුන්ව “ඊයම් රහිත අමුද්‍රව්‍ය” ලබා ගැනීමට හැකි ආයතන සමඟ සම්බන්ධ කලා. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ජාත්‍යන්තර අයිපෙන් ආයතනය වැනි ප්‍රමිතිකරන ආයතන සමඟ සම්බන්ධ කලා. නමුත් මෙහි වෙළඳපොළ ගැටලුවක් ද තිබෙනවා. පැරණි ඊයම් සහිත තීන්ත නැවත ගෙන්වා ගැනීමට තීන්ත සමාගම් වලට හැකියාවක් නැහැ. ඇතැම් විට ඔවුන් දැනුවත් නැහැ ඔවුන්ගේ නිශ්පාදන තිබෙන තැන් ගැන. ඒ වෙනුවට ඔවුන් නිතර කියා සිටියා අලුත් නිශ්පාදන පරීක්ෂා කරන ලෙස.

මේ නිසා තමයි පරිසර යුක්ති කේන්ද්‍රය අද වනවිටත් දැනුවත් කිරීම් නොකඩවා සිදු කරන්නේ. නිශ්පාදකයාගේ හේතුව කුමක් වුවත් පාරිභෝගිකයා ආරක්ෂා විය යුතුයි.

ඒ වගේම 2014 වසරේදී පරිසර යුක්ති කේන්ද්‍රය, තෝරාගත් පෙර පාසල් කිහිපයක සහ කුඩා දරුවන් සහිත නිවාස වල දූවිල්ලේ පවතින ඊයම් ප්‍රමාණය පරීක්ෂා කලා. මෙයට ප්‍රධාන හේතුව, ඊයම් සහිත තීන්ත පතුරු ගැලවී යාමේදී අවට පරිසරයට, දූවිල්ලට ඊයම් එකතු වීමයි. පර්යේෂණ සොයා ගැනීම් වලට අනුව සාමාන්‍ය එළිමහනේ හා නිවසේ සෙල්ලම් කරන, අවුරුදු එකේ සිට හය දක්වා දරුවන්ට දිනකට දූවිලි මයික්‍රො ග්‍රෑම් 110 ක් පමණ ශරීරගත වෙනවා. ඵසේම පර්යේෂණ වාර්තා වලට අනුව නිවසේ ඇතුලත හා පිටත ඇති ඊයම් සහිත තීන්ත සහ එම නිවසේ/ගොඩනැගිල්ලේ දූවිල්ලේ පවතින ඊයම් ප්‍රමාණය අතර සෘඡු සම්බන්ධතාවයක් පවතිනවා.

දූවිලි වල තිබිය හැකි ඊයම් ප්‍රමාණය සඳහා සම්මතයක් දැනට පවතින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එය වර්ග අඩියට මයික්‍රො ග්‍රෑම් 40 යි. එහෙත් වර්ධනය වන මොළයට බලපෑමක් ඇති කරන රුධිරගත ඊයම් මට්ටම සඳහා පරීසරයේ ඊයම් මට්ටම වර්ග අඩියට මයික්‍රො ග්‍රෑම් 10 වුවත් ප්‍රමාණවත්.

පර්යේෂණ ප්‍රතිපල වලට අනූව, දූවිලි නියදි (සාම්පල) ලබාගත් ස්ථාන 20න් 11කම ඊයම් ප්‍රමාණය වර්ග අඩියට මයික්‍රො ග්‍රෑම් 10 ඉක්මවා තිබුණා. එයිනුත් ස්ථාන තුනකම දූවිල්ලේ ඊයම් ප්‍රමාණය වර්ග අඩියට මයික්‍රො ග්‍රෑම් 40ත් ඉක්මවා තිබුණු අතර උපරිමය වර්ග අඩියට මයික්‍රො ග්‍රෑම් 600ක් වුනා. එම සාම්පලය ලබාගෙන තිබුනේ බිම විසිරී තිබුණු රතු පැහැ එනමල් තීන්ත පැල්ලමක් ආශ්‍රයෙන්. මෙම පර්යේෂණයට යොදා ගත් හැම තැනකම වගේ දීප්තිමත් වර්ණ වල තීන්ත ගාපු ගෘහ භාණ්ඩ, බිත්ති සිතුවම් දකින්න ලැබුනා. ගැලවුණු තීන්ත පතුරු බිම දකින්න ලැබුණා. විශේෂයෙන්ම මුළු වල සහ ගෘහ භාණ්ඩ පිටුපස දූවිලි ආශ්‍රිතව.

ඊයම් විෂවීම් වළක්වා ගන්නේ කොහොමද?

තීන්ත කියන විට පළමුව අපට සිහි වන්නේ නිවසේ බිත්තියක ගාන තීන්ත. නමුත් මේ කතා කරන්නේ ඒ පිළිබඳ නෙමෙයි. ද්‍රාවක වල දිය කරන තීන්ත වල තමයි ඊයම් තියෙන්න පුළුවන්. මෙම තීන්ත වර්ග ළමා උද්‍යාන, පෙර පාසල් වල ලී භාණ්ඩ, සිතුවම්, සෙල්ලම් භාණ්ඩ, පෝසිලේන් පිඟන් භාණ්ඩ, මෙන්ම පැන්සල් වල පවා අප නිතර දකිනවා. මේ සියළු දේ සඳහාම අප ඊයම් රහිත තීන්ත භාවිතා කිරීම වැදගත්.

ඊයම් සහිත දූවිලි වලින් තොරව නිවස/පාසල පවත්වා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. පළමුව කළ යුත්තේ දූවිලි රැඳෙන ස්ථාන හොඳින් පිරීසිදු කිරීමයි. මෙය අතුගෑමෙන් පමණක් කළ නොහැකියි. මේ නිසා, වතුර යොදා පොළව, ඡනෙල් උළුවහු, හොඳින් පිරීසිදු කළ යුතුයි.
පැරණි තීන්ත ආලේපිත මතුපිටවල් දූවිලි එන ලෙස සූරා නොදැමිය යුතු අතර, තෙත් කර ඉවත් කර තීන්ත පතුරු එකතු කර නිසි ලෙස බැහැර කළ යුතුයි. දරුවන් හා ගැඛිණි කාන්තාවන් සිටින නිවෙස් වල අලුත් වැඩියා කටයුත,ු කළ යුතුම අවස්ථාවකදී එම ප්‍රදේශ වසා වෙන්කර මෙම දූවිලි වලට දරුවන් හා ගැඛිණි කාන්තාවන් නිරාවරණය වීම වැළැක්වීමට කටයුතු කළ යුතුයි.

ගොඩනැගිලි සෑදීම, ඉවත් කිරීම, තීන්ත ආලේප කිරීම, තීන්ත නිෂ්පාදනය, බැටරි නිෂ්පාදනය, රේඩියේටර් අලුත් වැඩියාව, වාහන/ ගේට්ටු වල තීන්ත ආලේප කිරීම වැනි රැකියා වල නිරත වන්නන් නිවෙස් කරා යාමට පෙර හොඳින් පිරීසිදු විය යුතුයි.

නිතරම කුඩා දරුවන්ගේ අත් හා සෙල්ලම් භාණ්ඩ සෝදා පිරිසිදු කළ යුතුයි.

සමබල නිවැරදි ආහාර වේලක් ගැනීම වැදගත්. මේදය අඩු කැල්සියම් යකඩ හා විටමින් සී අධික ආහාර ගැනීම මඟින් ඊයම් ශරීරයට අවශෝෂණය වීම අඩු කරනවා.

දැනුවත් වෙමු, දැනුවත් කරමු

ශ්‍රී ලංකාවේ, ඊයම් සහිත තීන්ත පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනිමට පරිසර යුක්ති කේන්ද්‍රය (0112 683282) ඇමතිය හැකියි. එසේම ඊයම් විෂවීම් පිළිබඳ වෛද්‍ය උපදෙස් සහ තොරතුරු ලබා ගැනීමට, කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබද්ධ, ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය (0112 686143) ඇමතිය හැකියි .

ජාත්‍යන්තර වශයෙන් මේ සඳහා, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන එක්ව, “ඊයම් සහිත තීන්ත තුරන් කිරීමේ ගෝලීය සන්ධානය” නමින් එකතුවක් පිහිටුවා තිබෙනවා. මෙහි එක් අංගයක් වන්නේ, වාර්ෂිකව පවත්වන “ඊයම් විෂවීම් වැළැක්වීමේ සතිය”යි. මෙම වසරේ (2017) ඔක්තෝබර් 22 සිට 28 දක්වා ලෝකයේ සියළු රටවල් මීට අනුගාමිකව නොයෙකුත් වැඩසටහන් පවත්වා ඊයම් විෂවීම් පිළිබඳ දැනුවත් කිරීමට වගේම ඊයම් සහිත නිශ්පාදන වෙළඳපොළෙන් ඉවත් කිරීමට නොයෙකුත් කටයුතු සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *