Save the environment, Save the future

ලෙඩ හදන ලෙඩ් (ඊයම්) [“Lead” is a serious health threat]

බිංදු ලෙඩ වෙලා

බිංදු හිටියෙ නගරබද නිවාස සංකීර්ණයක. එයාගෙ අම්ම පෙර පාසල් ගුරුතුමියක්. තාත්තා තීන්ත ආලේප කරන්නෙක්. බිංදු පුංචි කාලෙ ඉඳන් තාත්තත් එක්ක එයා වැඩ කරන තැනට යන්න පුරුදු වෙලා හිටිය. එයත් ගිහින් තාත්තා තීන්ත ගාන කල් ලඟට වෙලා බලාගෙන ඉන්නවා. තීන්ත දිය කරන්න අත් උදව් දෙනවා, බුරුසු සෝදලා දෙනවා. බිංදුගෙ අම්මා පෙර පාසල් ගිහින් එනකල් බිංදු දවසේ වැඩි හරියක් ගත කලේ එයාගෙ තාත්තත් එක්ක.
පෙර පාසල් යන වයසට ආවම බිංදුට තීන්ත ගාන්න යන්න බැරි උනත් ගෙදර ආව වෙලේ ඉඳන් තාත්තගෙ තුරුලෙන් ගන්න හම්බ උනේ නෑ.
මෙහෙම කාලයක් ගිහින් බිංදු ඉස්කෝලෙ යන්න පටන් ගත්තා. එයා ගොඩක් වෙලාවට හිටියෙ තනියම. බිංදු යාළුවො ආශ්‍රය කරන්න කැමති උනේ නෑ. ගොඩක් වෙලාවට කලේ අනිත් ළමයින්ට හිරිහැර කරපු එක. හුඟක් ඉක්මනට තරහ ගියා. ගුරුතුමිය උගන්නනකොට ඒ ගැන වැඩි අවධානයක් යොමු කලෙත් නෑ. පාඩම් කියාදෙද්දි ඕනවට එපාවට අහගෙන හිටිය. හරියට ඇහෙන් නෑ වගේ. පරීක්ෂණ වලට පුදුම අකමැත්තක් තිබුනෙ. කිසිම විෂයකට හොඳ ලකුණු ගත්තෙත් නෑ. නිතරම පාසල් නෑවිත් ගෙදර හිටියා. පන්ති භාර ගුරුතුමිය දවසක් මේ ගැන බිංදුගෙ අම්මගෙන් ඇහුවා.
“එයාට හරියට බඬේ අමාරුව හැදෙනවා ගුරුතුමී” එයාගෙ අම්මා උත්තර දුන්නා.
“මට හිතෙන්නෙ එයාව ළමා වෛද්‍යවරයෙකුට පෙන්නුවොත් හොඳයි. මේ එයා කනබොන දෙයක් නිසා නෙමේ වෙන්නත් පුළුවන්” ගුරුතුමී මෙහෙම කිව්වත් බිංදුගෙ අම්මට ඒකට යන්න වෙලාවක් තිබුනෙ නෑ.
ගුරුතුමී දවසක් බිංදු ගැන එයාගෙ යාළුවෙක් එක්ක කිව්වා.
“මම මේ ලඟදි දේශනයකට ගියා. ඊයම් විෂ වීම ගැන වැඩ කරන පරිසර යුක්ති කේන්ද්‍රය කියල සංවිධානයකින් ඒක කලේ. දරුවන්ට ඊයම් කියන බැර ලෝහය ලේ වලට ගියාමත්, දරුවෙක් වැඩෙන්න ප්‍රමාද වෙනව, ඉගෙන ගන්න දුර්වල වෙනව, කෑම අප්පිරිය වෙනව, බර අඩු වෙනව, බඬේ අමාරුව, නුරුස්සන ගතිය, තෙහෙට්ටු ගතිය එනව, වමනෙ යනව, මලබද්ධය හැදෙනව, කන් ඇහෙනව අඩුයි වගේ ලක්ෂණ පෙන්නනව කියල ඒකෙදි කිව්වා. ඒ වුනාට ඊයම් විෂ වීම කියන එක ලේ පරීක්ෂාවකින් තමයිලු හරියටම කියන්න පුළුවන්. හොඳම දේ ඔය දරුවගෙ ලේ පරීක්ෂාවක් කරන එක”
ගුරුතුමී දවසක් බිංදුගෙ අම්මත් එක්කම එයාගෙ ලේ වල ඊයම් ප්‍රමාණය බලන ලේ පරීක්ෂාවක් කරන්න ආසිරි රෝහලට එක්කගෙන ගියා. ඒ වාර්තාවත් අරගෙන එයාල ඊලඟට කළේ ජාතික ධූලකවේදය හා විෂ තොරතුරු මධ්‍යථායේ වෛද්‍යවරියක් හම්බවෙන්න ගියපු එක. ගුරුතුමී බිංදු ගැනත් රුධිර පරීක්ෂාව ගැනත් වෛද්‍යතුමියට විස්තර කළා. වෛද්‍යවරිය ලේ වාර්තාවත් බලල බිංදුව පරීක්ෂා කරල බිංදුගෙ අම්මටයි ගුරුතුමීටයි කතා කලා.
“ඔයාල කරපු දේ බොහොම හොඳයි. ගොඩක් වෙලාවට මේ ලක්ෂණ දරුවෙක්ගෙ දැක්කම දරුවන්ගෙ හැටි කියල නොසලකා හරින එකයි කරන්නෙ. නමුත් මේ දරුවට ඊයම් විෂ වීමක් නිසයි මේ විදියට හැසිරිලා තියෙන්නෙ”
“ඒ කියන්නෙ දොස්තර නෝනා?”
“මේ දරුවගෙ ලේ වලට ඊයම් කියන බැර ලෝහය ගිහින්. ඒ නිසා තමයි මෙයා පන්තියෙදි ඉගෙන ගන්න ටිකක් දුර්වල. ඇත්තටම මේ දරුවට කන් ඇසීමේ දුර්වලතාවයක් තියෙනවා. මේක ඊයම් විෂ වීම නිසා සිද්ධ වෙන එක දෙයක් විතරයි”
“මගෙ දරුව හොඳ කරන්න පුළුවන්ද දොස්තර නෝන?” බිංදුගෙ අම්ම ඇහුවෙ අඬමින්.
“ඔව්. බිංදුගෙ ලේ වල ඊයම් ප්‍රමාණය තාමත් අඩු මට්ටමකයි තියෙන්නෙ. ලේ ඩෙසි ලීටරයකට ඒ කියන්නෙ ලීටරයකින් දහයෙන් එකකට මයික්‍රො ග්‍රෑම් 15ක් වගේ ප්‍රමාණයක්. ඇත්තටම නම් ඊයම් අංශුමාත්‍රයක් වත් ලේ වල තියෙන්න හොඳ නෑ. කන් ඇහෙන්න නම් දරුවට ශ්‍රවණ අධාරකයක් දෙන්න වේවි. සාමාන්‍යයෙන් ස්නායු වලට වෙන හානිය නැවත යථා තත්වයට පත්වෙන්නෙ නැති තරම්. නමුත් මේ වගේ ඊයම් ප්‍රමාණයකදි බිංදුට දෙන ආහාර වලින් අපිට විෂ පාලනය කරන්න පුළුවන්”
“මොනවගේ කෑමද දොස්තර නෝන?” බිංදුගෙ අම්ම ඇහුවෙ බොහොම උනන්දුවෙන්.
“මේදය අඩු යකඩ, කැල්සියම් සහ විටමින් සී වැඩි ආහාර වර්ග දරුවට දෙනවනම් තමයි හොඳ. මුං ඇට, කඩල කව්පි, පරිප්පු, රටකජු වගේ ධාන්‍ය වර්ග, නිවිති, කිරි, යෝගට්, මුදවපු කිරි, කේජු, කොළපාට එළවලු වගේම පළතුරු වගේ දේවල්. මොකඳ ඇඟේ ඊයම් තියෙද්දි යකඩ, කැල්සියම්, සින්ක් වගේ පෝෂක අඩු වුනොත් මේව වෙනුවට ලේ වලට ඊයම් උරා ගන්නවා. ඒ වගේම ඊයම් ඇඟට යන්න පුළුවන් දේවල් වලින් බිංදුව පුළුවන් තරම් පරිස්සම් කරන්න ඕනි”
“කොහොමද දොස්තර නෝන මේ විස දරුවට ගියෙ?”

“හ්ම්.. අර බලන්න අර පෝස්ටරේ. ඒකෙ පැහැදිලිව පෙන්නල තියෙනව ඊයම් ශරීරගත වෙන්න පුළුවන් දේවල් ගොඩක්..
ප්‍රධානම දේ තමයි ගෙවල් වල ගාන තීන්ත”
“තීන්ත!”
“ඔව් ඇයි?”
“දොස්තර නෝන බිංදුගෙ තාත්තා තීන්ත බාස් කෙනෙක්. බිංදු පුංචි කාලෙ ඉඳන්ම එයත් එක්ක තීන්ත ගාන්න යනවා..” බිංදුගෙ අම්මා කිව්වෙ අඬමින්.
“එහෙමද? එහෙනම් බිංදුට ඊයම් ඇතුළු වුණේ තීන්ත හරහා වෙන්න පුළුවන්. නමුත් මේ කියන්නෙ එක්දාස් නමසීය හැත්තෑ ගනන්වලදී වගේ බිත්ති වල ගාපු පරණ තීන්ත සහ තිනර්, ටර්පන්ටයින් වගේ ද්‍රාවක වල දිය කරල ගාන ලැකර්, එනැමල්, පොළවේ ගාන තීන්ත, මළ නොබැඳෙන තීන්ත වගේ ඒව… ඔව් ඉතින් තීන්ත ගානවනම් අනිවාර්යයෙන්ම මේව අතගැටෙනවනෙ”
“ඉතින් අපි කොහොමද අපි ගාන තීන්ත වල ඊයම් නැහැ කියල අඳුරගන්නෙ?”
“ගොඩක් වෙලාවට අපිට ප්‍රමිති සහතික ගැන විස්වාසය තියන්න පුළුවන්.. සමහර වෙලාවට නිශ්පාදිතයමත් සහතික කරනවා.. ඒත් ඒවා සියයට සියයක්ම නිවරදි නෑ. ඒ වගේම තත්ව සහතිකයක් නැති කහ, කොළ, රතු, තැඹිලි වගේ පාටවල එනැමල්, ලැකර්, පොළවේ ගාන තීන්ත, මළ නොබැදෙන තීන්ත ගැන පරිස්සම් වෙන්න ඕනි. අද වෙනකොට ඊයම් නැති තීන්ත වර්ග ඕනි පාටකින් අඩු මිලට වුනත් ගන්න වෙළදපොළේ තියෙනවා. අපි නොදන්නකමටයි ඒව ගන්නෙ නැත්තෙ”
“එතකොට දොස්තර නෝන බිංදුට ඊයම් යන්න ඇත්තෙ මේ තීන්ත වල තියෙන ඊයම් හම හරහා ඇඟට ඇතුල් වෙලාද?” බිංදුගෙ ගුරුතුමී ඇහුව.
“ඒ විතරක් නෙමෙයි. අපි ගාන තීන්ත කාලයක් යද්දි පතුරු ගැලවිලා යනවා. ඒ වගේම අලුතින් තීන්ත ගාන්න බිත්ති සූරනකොට පරණ තීන්ත වල තියෙන ඊයම්, දූවිලි වලට එකතු වෙනවා. ගොඩක් වෙලාවට පොඩි ළමයි ඉන්නෙ බිම. ඉතින් එයාලගෙ අත්වල, ඇඟේ, දූවිලි ගෑවෙනවා”
“ඊට පස්සෙ අත් කටේ දානකොට දූවිලි හරහා ඊයම් බඩට යනවා”

“අන්න හරි. ගුරුතුමීට තේරුණා. ඒ වගේම පොඩි ළමයින්ගෙ පුරුද්දක් තමයි ඕනිම දෙයක් කටේ දාන එක. එතකොට එයාලගෙ සෙල්ලම් බඩු වල ඊයම් තියෙන තීන්ත ගාල තිබ්බොත් හපද්දි මේ තීන්ත පතුරුත් එක්ක ඊයම් බඩට යනවා. දරුවෙක්ගෙ බඩට ඊයම් ගියාම ඒකෙන් සියයට පනහක්ම ලේ වලට උරා ගන්නව. වැඩිහිටියෙක්ගෙ මේ ප්‍රමාණය සියයට දහයක් විතරයි”
“අනේ දොස්තර නෝන බිංදු පුංචි කාලෙ එයාගෙ වැඬේම බිත්තියට දණ ගාගෙන ගිහින් ගැලවෙන තීන්ත සූරන එක. සමහර වෙලාවට ඒව කටෙත් දානවා”
“ඔව් පර්යේෂකයො කියන විදියට දරුවො මේ රසට කැමතියි. ඒ නිසා තීන්ත පතුරු කන්න ඇබ්බැහි වුන දරුවොත් ඉන්නවා. ඒ වගේම බිංදුගෙ තාත්ත හවසට වැඩ ඇරිල ගෙදර එන්නෙත් වැඩ කරන ඇඳුම් පිටින්ම නම් ඇදුම් වලින් තීන්ත වල තියෙන ඊයම් ගෙදරට එන්න පුළුවන්. ඒ වගේම මෙහෙම වැඩ කරන අයත් එක්ක දරුවො ගෙදරට ආපු ගමන්ම ඇඟේ දැවටෙනකොට දරුවන්ට මේ විස යන්න පුළුවන්”
“නෑ දොස්තර නෝන බිංදුගෙ තාත්ත වැඩ කරද්දි අඳින්නෙ වෙනම ඇඳුමක්. එයා වැඩ ඉවර වුනාම, නාල, ඒක මාරු කරගෙන තමයි ගෙදර එන්නෙ. ඒ ඇඳුම් සෝදන්නෙත් එයා වෙනම”
“අන්න ඒක බොහොම හොඳ දෙයක්”
“එතකොට දොස්තර නෝන බිංදුගෙ තාත්තටත් මේ විස ගිහින් ඇත්ද?”
“බිංදුගෙ තාත්තට වගේම වාහන, ගේට්ටු ටින්කරින් කරන අයට, ඊයම් උණු කරන , ආලේප කරන, පාස්සන අයට සහ යකඩ හා වානේ උණු කරන අයට, ඊයම් බැටරි කර්මාන්තශාලා වල වැඩකරන අයට, රත්‍රන් නිස්සාරණය කරන අයට, ගොඩනැගිලි ඉවත් කිරීම වගේ රැකියා කරන ඕනම කෙනෙකුට ඊයම් ශරීරගත වීමේ අවධානම තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට ඊයම් ඇතුළු වුනාම අධි රුධිර පීඩනය, උදරාබාධ, හන්දි වේදනාව, මාංශ පේෂි වේදනාව, හිසරදය, අමතකවීම, මානසික ක්‍රියාකාරීත්වය අඩුවීම වගේ රෝග ලක්ෂණ පෙන්වනවා. නමුත් මේව වෙන හේතු නිසාත් එන්න පුළුවන් නිසා ඊයම් විසවීමක්මයි කියල ස්ථීරවම කියන්න අමාරුයි. ඒක හරියටම කියන්න නම් මේ වගේම ලේ පරීක්ෂාවක් කරන්න වෙනවා”
“එතකොට දොස්තර නෝන මේ විස දරුවෙක් ලැබෙන්නත් බලපානවද?”

“ඔව්. ඊයම් ලේ වලට ගිහින් තියෙන පිරිමි කෙනෙක්ගෙ ශුක්‍රාණු අසාමාන්‍ය වෙන්න වගේම ගණනින් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණු කෙනෙක්ට ගබ්සාවීම්, නොමේරූ දරු උපත්, මළ දරු උපත්, අඩු බර දරු උපත් වගේ දේවල් වෙන්න පුලුවන්”

“එතකොට මේ පෝස්ටරයෙ පිඟානක් ඇඳල තියෙන්නෙ ඇයි දොස්තර නෝන?”
“පිඟන් කෝප්ප වලත් ගාන තීන්ත වල ඊයම් තියෙන්න පුළුවන්. ඒකයි. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනි හැමදාම කන පිඟන් කෝප්ප තෝර ගනිද්දි අඩු තරමින් අපි කෑම කන කොටසෙ කට තියල බොන කොටසෙවත් තීන්ත නොගාපු පිඟන් කෝප්ප තෝරගන්න. තනි සුදු පෝසිලේන්, වීදුරු, බෙලෙක් වලින් හදල තියෙන පිඟන් භාණ්ඩ මේ වෙනුවට හොඳ විකල්ප”
“ආභරණ වලත් ඊයම් තියෙනවද?”
“හ්ම්.. මේ පෙන්නල තියෙන්නෙ ලෝහමය කෘතීම ආභරණ. දැන් කාලෙ නම් ගොඩක් අය මේව දානව තමයි. නමුත් දරුවොත් එක්ක ඉන්නකොට මේ ගැන ටිකක් හිතන්න ඕනි. පුංචි දරුවො මේව හපනව. ඒ වගේම නිතර හමේ ගෑවෙනකොට වැඩිහිටියන්ටත් මේවයෙ තියෙන ඊයම් ශරීරගත වෙන්න පුළුවන්”
“එතකොට දොස්තර නෝන ඔය චොක්ලට් ඔතල තියෙන්නෙත් ඊයම් කොළ වල නේද?”
“නෑ නෑ ඒක වැරදි ව්‍යවහාරයක් විතරයි. ඇත්තටම මේ තියන්නෙ ඇලුමිනියම්, ඇලුමිනියම් තවරපු ප්ලාස්ටික් වර්ග වගේ දේවල්. පාට නිසයි අපි ඊයම් කොළ කියන්න පුරුදු වෙලා තියෙන්නෙ. කෑම අසුරණ වල ප්‍රමිතියක් විදියට කිසිම බැර ලෝහයක් යොදා ගන්න බෑ. හැබැයි ඊයම් වලින් පාස්සපු ටින් තියෙනවා. සමහරවිට මේව තීන්ත අසුරන විදියට භාවිතා කරනවා. ඒ හරහා තීන්ත වලට ඊයම් එනව විතරක් නෙමෙයි මේ හිස් ටින් දරුවො සෙල්ලම් කරන්න ගත්තමත් ඒ හරහා දරුවන්ට ඊයම් ශරීරගත වෙන්න පුළුවන්”
“අපේ මහත්තයත් ගෙදර ඊයම් වලින් පාස්සන වැඩ කරනව”
“ඒක බොහොම භයානක දෙයක්. අඩුතරමින් හොඳින් වාතාශ්‍රය තියෙන තැනක නහය ආවරණය කරගෙන අත්වැසුම් දාල ඒක කරන්න ඕනි. එත් දැන් ඊයම් වෙනුවට වෙන පාස්සන මිශ්‍ර ලෝහ වගේම සන්නායක මැලියම් වර්ගත් තියෙනවා”
“එතකොට දොස්තර නෝන, මලකඩ කන්නෙ නැතිවෙන්න ගාන තීන්ත වලත් ඊයම් තියෙනවද?”
“ඔව්. විශේෂයෙන්ම රතු පාට”
“අපේ පෙර පාසලේ දැල් වලට අනිවාර්යයෙන්ම ඒ තීන්ත ගානවා. ගොඩක් දරුවො මේකෙ එල්ලිලා එළියෙ ඉන්න අම්මල දිහා බලාගෙන ඉන්නව මම දැකල තියෙනවා. ඒ මදිවට සමහරු ඒක හපනවා”
“ඒ ඉතින් දරුවන්ගෙ හැටිනෙ. හොඳම දේ සුදුපාට මළ නොබැඳෙන තීන්ත වර්ගයක් ගාන එක”
“දැන් කාලෙ හැම පැන්සලක්ම වගේ එන්නෙ කහ, රතු, කොළ පාටවල් වලින්.. දරුවන්ගෙ වැඬේම පැන්සල් කටේ දාන එක”
“මම නම් දරුවන්ව භය කරල තියෙන්නෙ පැන්සල් කෑවොත් බඬේ පණුවො හැදෙනව කියල. ඒ නිසා අපේ පෙර පාසලේ ළමයි නම් හරි අඩුවෙන් පැන්සල් කන්නෙ”
“ඒක හොඳ අදහසක් තමයි”
“එතකොට දොස්තරනෝන තව මොනවයින්ද දරුවන්ට ඊයම් එන්න පුළුවන්?” බිංදුගෙ ගුරුතුමී ඇහුවෙ ගොඩක් උනන්දුවෙන්.
“ඊයම් අඩංගු තීන්ත ගාපු ඕනිම දේකින් ඊයම් ශරීරගත වෙන්න පුළුවන්. පාසල් බෑග්, පැන්සල් පෙට්ටි, සෙරෙප්පු, සපත්තු ඒ වගේම ළමා උද්‍යාන වල පෙර පාසල් වල තියෙන ඔන්චිල්ලා, සී සෝ වගේ සෙල්ලම් උපකරණ වලට ගාල තියෙන ඊයම් සහිත තීන්ත වලින් උනත් දරුවන්ට ඊයම් ශරීරගත වෙන්න පුළුවන් ”
“අනිත්පාර නම් පෙර පාසලේ පින්තූර වලටයි සෙල්ලම් උපකරණ වලටයි තීන්ත ගාද්දි ඊයම් නැති තීන්තම හොයා ගන්න ඕනි”
“ඔව්. හොඳට හොයල බලන්න තීන්ත වල ප්‍රමිති සහතිකයක් තියනවද කියල. විශේෂයෙන්ම රතු, කොළ, කහ, තැඹිලි වගේ පාටවල ලැකර්, එනැමල් තීන්ත ගන්න කොට. ඒ වගේම අලුතින් තීන්ත ගානව නම් පරණ තීන්ත සූරන්න යන්න එපා. එතකොට පරණ තීන්ත වල ඊයම් තිබුනොත් ඒවා දූවිලි වලට යන්න පුලුවන්. ඒ වගේම මිදුලෙ වැලි වලට. පතුරු ගැලවුනු තීන්ත පුලුවන් තරම් සෝදලම තමයි අයින් කරන්න ඕනි. මිදුලට නම් කරන්න තියෙන්නෙ තණ කොළ වවන එක. ඒකෙන් තින්ත පතුරු ආවරණය වෙනවා. ඒ වගේම තින්ත ගානකොට අත් වැසුම් දාල නහය වහගෙන කරන්න ඕනි. ඒ නැත්නම් අඩු තරමින් අත් දිගට කමිසයක් ඇඳල දිග කලිසමක් වත් අඳිනවනම් තමයි හොඳ”
“දැන් බැලුවම ඊයම් නැති දෙයක් නෑ නෙ”
“ඒ වගේ තමයි. අපි හැම දෙයක් ගැනම ගොඩක් හොයල බලන්න ඕනි. දියුණු රටවල නම් තීන්ත වලට ප්‍රමිතියක් තියන නිසා බය නැතුව ඕනිම සෙල්ලම් බඩුවක් අරන් දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ කී ටැග්, පින්තූර ඇදපු දරුවන්ගෙ ඇඳුම් වගේ දේවල් වුනත් යුරෝපා රටවල් වලට අපනයනය කරද්දි ඊයම් ප්‍රමාණය බැලීම අනිවාර්යයයි. මේවා දරුවන්ගෙ ද්විතියික සෙල්ලම් භාණ්ඩ විදියටයි සලකන්නෙ”
“අපි පෙරපාසලට නිතරම සෙල්ලම් බඩු ගන්නවා. ඒවත් වැඩිපුරම රතු, කොළ, කහ වගේ පාටවල ඒව තමයි”
“ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි තීන්ත නොගාපු භාණ්ඩ අරගෙන ඊයම් රහිත තීන්ත අරන් ගා ගන්න එක. නැත්නම් සෙල්ලම් බඩු හදන කෙනාට ඒ විදියට දෙන්න කියන්න පුළුවන්. ඒ වගේම තීන්ත නොගාපු මයිල් ගැලවෙන්නෙ නැති පුරවපු සත්තු, බෝඞ් වර්ග වලින් හදපු දේවල් වගේ සෙල්ලම් බඩු දරුවන්ට දෙන්න පුළුවන්”
“එතකොට දොස්තර නෝන පැස්ටල්, ක්ලේ වලත් ඊයම් තියෙද?”
“තවම නම් ඒවයේ ඊයම් තියනව කියල හම්බවෙලා නෑ. එත් දන්නවද ක්ලේ වෙනුවට ස්වභාවික මැටි භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ක්ලේ ගෙදර හදාගන්නත් පුළුවන්. ”
“එතකොට දූවිලි වල ඊයම් තිබුනොත්?”
“ඔව්, ඊයම් තියෙන තීන්ත වලින් විතරක් නෙමේ, ඊයම් බැටරි හදන වැඩ පලක්, වාහනවල තින්ත ගාන තැනක් ලඟ ගෙදර තියනවනම් ඒ වගේ තැනක වැඩ කරන කෙනෙක් ගෙදර ඉන්නවනම් ගෙදරක දූවිලි වල ඊයම් තියෙන්න පුළුවන්. කොහොමත් පොඩි ළමයෙක් ඉන්න ගෙදරක් නම් අඩුම තරමින් සතියකට සැරයක් වත් ගෙදර පොළව, ජනෙල්, ජනෙල් පඩි, උළුවහු, දරුවන්ගෙ සෙල්ලම් බඩු, තොටිලි වතුරෙන් පිහිදාල සෝදනවනම් තමයි හොඳ. ඒ වගේම පිහින්න ගන්න රෙදි කෑලි වුනත් හොඳට පිරිසිදු කරන්න ඕනි. ගොඩක් වෙලාවට දූවිලි එකතු වෙන්නෙ ගෙදර මුළුවල එහෙමත් නැත්නම් ගෘහ භාණ්ඩ යට. ඒ තැන් අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕන”
“එතකොට මෙතන තොල් ආලේපන ඇඳල තියෙන්නෙ ඇයි දොස්තර නෝන?”

වෛද්‍යවරිය සිනාසුනා.. “අවාසනාවට වගේ තොල් ආලේපන, නිය ආලේපන, සමහර විලවුන් වර්ග, ක්‍රීම් වර්ග වල ඊයම් හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම තද රතු, දුඹුරු වගේ පාටවල දිලිසෙන තොල් ආලේපන නිය ආලේපන වල ඊයම් තියෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියි. සමීක්ෂකයො නම් කියන්නෙ තොල් ආලේපන ඒ කියන්න ලිප්ස්ටික් වලට වඩා ලිප් බාම් ගාන එක වඩා ආරක්ෂිතයි කියල. ඒ වගේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදපු තොල් ආලේපන හොයාගන්න පුළුවන් නම් හොඳයි. ඒ කොහොම වුනත් දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් මේ වගේ නිෂ්පාදන පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරනවනම් තමයි හොඳ ඒ වගේම දරුවන් මේව ගාන එකෙන් වළක්වන්න ඕනි”
“එහෙනම් අපෙත් ලේ වල ඊයම් බලන්න වේවිනෙ”
“ඔව් ඉතින් අපි ලස්සනට කැමතියි නම් තමයි. නමුත් අපි ගාන තොල් ආලේපන වැඩි ප්‍රමාණයක් අන්තිමට නතර වෙන්නෙ බඩෙන්නෙ”
“ඇත්තටම ඉතින් නිය ආලේපන ගෑවහමත් දන්නෙත් නැතිව මැකිල යනවනෙ. අපි කන බොනකොට විතරක් නෙමෙයි උයන පිහන ඒවටත් මේව එකතු වෙනව ඇතිනෙ”
“ඒක හරි… කෑම ගැන කියනකොට මතක් වුනේ අපි කී දෙනෙක් ඉන්නවද පත්තර කොළ වල නිකන් පාන්, රොටී වගේ දේවල් ඔතාගෙන යන. ඊට පස්සෙ කෑම කන්නෙ පත්තරේ විස්තරෙත් එක්ක.. මේවත් ඊයම් තමයි”
“ඒ කියන්නෙ දොස්තර නෝන මුද්‍රණය කරන්න ගන්න තින්ත වලත් ඊයම් තියනවද?”
“තියෙන්න පුලුවන්, මොකද අපේ රටේ මේවට තවම ප්‍රමිතියක් නැහැ. කෑම ඔතද්දි ඒ නිසා මුද්‍රණය කරපු නැති කොළ ගන්න ඕනි. හොඳම දේ තමයි පෙට්ටියක කෑම ගෙනියන එක”
“එතකොට ඔය දරුවන්ගෙ වතුර බෝතල්? ඒවයෙත් පින්තූර ඇඳල තියෙනවනෙ”
“වතුර බෝතල් තෝර ගනිද්දි නම් වැඩිපුර පරිස්සම් වෙන්න ඕනි ඒකෙ ප්ලාස්ටික් වර්ගය ගැන. ප්ලාස්ටික් වර්ගය 5 හෝ ඊට වැඩි වර්ගයකින් හදපු බෝතල් තමයි දිනපතා වතුර ගෙනියන්න සුදුසු. අපි ඔය පාවිච්චි කරන බීම බෝතල් ඒකට සුදුසු නෑ. පින්තූර නම් වතුර ගෑවෙන කොටසෙ නැති නිසා ලොකු අවදානමක් නෑ”
“එත් සමහර දරුවන්ගෙ වැඬේම නිකන් ඉන්න වෙලාවට ඔය රූප නියපොත්තෙන් ගලවන එක”
“ඒක ඇත්ත, හැම වෙලේම කෑමක් අතට දෙනකොට දරුවන්ට සබන් දාල අත් සෝදන්න පුරුදු කරන්න ඕනි. ඒ වගේම නිතරම එයාලගෙ නියපොතු කොටට කපල තියන්න ඕනි. ඒක ඊයම් විතරක් නෙමේ තවත් විස ගොඩකින්ම ආරක්ෂා වෙන්න පුළුවන් හොඳ පුරුද්දක්”.
“දොස්තර නෝනට ගොඩක් ස්තුතියි මේ විස්තර අපට කියල දුන්නට”
“ඒක ඉතින් මගේ රාජකාරිය වගේම යුතුකමනෙ. ඊයම් විතරක් නෙමෙයි අපි පරිස්සම් වෙන්න ඕන කරන තවත් රසායනික ජාති ගෙදර හැංගිලා තියෙනවා. ඒව ගැන කියල දෙන්න තවත් දවසක කට්ටියත් අඬගහගෙනම එන්න. මතක් කරල බිංදුව උගුර කණ නාස පිළිබඳ වෛද්‍යවරයෙකුට පෙන්නන්න. ඒ වගේම මම කියපු විදියට යකඩ, කැල්සියම්, විටමින් සී තියෙන ආහාර වර්ග දෙන්න. ඒ වගේම ඊයම් එන්න පුළුවන් හැම විදියකින්ම එයාව පරිස්සම් කරන්න… අමතක කරන්න එපා ඊයම් විෂ වීම කියන්නෙ සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න පුළුවන් දෙයක්

කතෘ: චලනි රූබසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *