Save the environment, Save the future

ගෙවතු වගාව (Home gardening)

රැකියාව වශයෙන් හෝ විනෝදාංශය වශයෙන්, එළවළු, පළතුරු, මල්, ඖෂධ පැළෑටි මෙන්ම විසිතුරු ශාක වගාව සිදු කිරීම ආර්ථිකමය වශයෙන් පමණක් නොව පාරිසරිකමය වශයෙන් ද ඉතා වැදගත් වේ. එමඟින් ආදායමක් උපයාගත හැකි වනවා මෙන්ම, ස්වභාවික ඖෂධ/ පළිබෝධ විකර්ෂක/ මදුරු විකර්ෂක ලෙස ක්‍රියා කිරීම, වාතය පිරිසිදු වීම, පරිසරය අලංකාර වීම, ජල සංරක්ෂණයට දායක වීම,  ඇතුළු පාරිසරික ප්‍රයෝජන රැසක් ද ඇත. බොහෝ කලකට පෙර වගාව සඳහා විශාල බිම් ප්‍රමාණයක් අවශ්‍ය වුවද, අද වනවිට නව තාක්ෂණයන් සමඟ වගාවන් සඳහා අවශ්‍ය බිම් ප්‍රමාණය ඉතා අවම හෝ අනවශ්‍ය තරම් වේ. ආර්ථික බෝග සැලකූ කල, ඉතා කුඩා බිම් ප්‍රමාණයක වගා කොට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි ආර්ථික බෝග මේ වනවිට හඳුන්වාදී ඇත. එසේම ජල වගාවන් (Hydroponic cultivation), නිවෙස් තුල සිදු කරන වගාවන් (Indoor gardening) සහ ඉතා කුඩා ගෙවතු (Terrariums) භූමි ගැටළු නොමැති නව වගා ක්‍රම වලින් සමහරකි.

මෙම වගාවන් සිදුකරන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි. නමුත් මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ පැළෑටි සඳහා රසායනික වර්ග යෙදීමෙන් වැළකී සිටීමයි. බොහෝවිට පහසුවෙන්ම වගාකරුවන් යොමුවන්නේ රසායනික පොහොර සහ පළිබෝධ මර්ධක යොදා ගැනීමටයි. නමුත් අප නිවසේම ඇති අමුද්‍රව්‍ය වලින් වඩා කාර්යක්ෂම පළිබෝධ මර්ධක සහ පැළෑටි වල වර්ධනයට අවශ්‍ය ඛණිජලවණ ඇතුළු පෝෂක අඩංගු පොහොර සාදාගත හැකි බව නොරහසකි. නමුත් කණගාටුවට කරුණ නම්, පහසුවත් ලෙහෙසියත් උදෙසා අප නිරන්තරයෙන් රසායනික වෙත යොමු වීමයි.

වගාව ආදායමක් කරගත හැක්කේ පැළෑටි හෝ මල් අලෙවි කිරීමෙන් පමණක් නොවේ

විසිතුරු මල් සහ පැළෑටි වලින් සිදු කරන දහසකුත් නිර්මාණ ආදායම් මාර්ගයක් බවට පත්කරගත හැක.

වගාවෙන් ආදායම් ලැබිය හැකි ආකාර
විසිතුරු පැළ වගාව:

  • මල් පැළ
  • සැරසිලි සඳහා මල් කිනිති මෙන්ම තනි මල්
  • ටෙරාරියම්
  • බොන්සායි කලාකෘති
  • උත්සව සඳහා ත්‍යාග
  • මින් මැදුරු පැළෑටි
  • උද්‍යාන වගාව
  • පටක රෝපණයෙන් සකස් කළ පැළ
  • මල් පැළැටි වල බීජ
  • වියළි මල් වලින් සකස් කළ නිර්මාණ (සුභ පැතුම් පත්, මුදු, මාල, කරාබු, යතුරු රඳවන, කඩදාසි බර, සුවඳ කොට්ට, විසිතුරු භාණ්ඩ ඇතුළු වෙනත් නිර්මාණ )
  • නැවුම් මල් වලින් සකස් කළ නිර්මාණ (උත්සව සැරසිළි, මල් පොකුරු ආදිය )

ඖෂධ පැළැටි වගාව

  • පැළ
  • ඵල
  • ඖෂධීය පාන (කෝඩියල් වර්ග/ තේ/ පැණි බීම )
  • රූපලාවන්‍ය නිෂ්පාදන
  • පෝෂ්‍යදායී කෙටි ආහාර (නැවුම් හෝ කල්තබාගත හැකි )

ආර්ථික බෝග

  • ඵල
  • කල් තබා ගත හැකි ආහාර*
    *මෙය ඉතා වැදගත් යැයි සිතමි. බොහෝ විට ගොවීන් පුරුදු වී සිටින්නේ අතිරික්ත බෝග ඉවත දැමීමටයි. අස්වැන්නට නිසි වටිනාකම නොලැබුනා යැයි කියමින් අස්වනු ගිනි තැබීමේ සිදුවීම් පවා අපට නිතර අසන්නට ලැබේ. නමුත් අපගේ පැරැන්නන් මෙන් ආහාර කල් තබා ගැනීමේ ක්‍රම අනුගමනය කිරීමට යොමු වීමෙන් තම වගාවේ අගය වැඩි කර ගැනීමටද (value addition) හැකි වේ.

උදාහරණ වශයෙන් අතිරික්ත බටු වලින් බටු මෝජු වැනි ආහාර සකස් කොට වෙළඳ පොළට යොමු කිරීම, නියමිත මිලට අලෙවි කර නොගත හැකි වී; සහල් පිටි ලෙස හෝ සහල් පිටි නිශ්පාදන ලෙස අලෙවි කිරීම, ඉරිඟු; ඉරිඟු පිටි ලෙස හෝ ඉරිඟු පිටි නිශ්පාදන ලෙස අලෙවි කිරීම, අනෙකුත් එළවලු ; අච්චාරු, ච්ට්නි, බැදුම් ලෙස අලෙවි කිරීම, පළතුරු; ජෑම්, බීම, දෝසි, ටොෆි, කේක් සඳහා අමුද්‍රව්‍ය (ginger preserve/ candid peel/ chow chow preserve/ cherry from melon, etc..) ලෙස අලෙවි කිරීම.

පැහැසර හෙටක් නිරෝගිමත් ජනතාවක් උදෙසා විෂසහිත කෘෂිරසායනික භාවිතය අත්හරිමු!

මනුෂ්‍ය ශරීරයට අහිතකර බොහෝ රසායනික, බැර ලෝහ වන කැඞ්මියම්, රසදිය, ඊයම්, ආසනික් හෝ වෙනත් විෂ සහිත කාබනික රසායනික (POPs) කෘෂි රසායනික වල අන්තර්ගතව ඇති බව සොයාගෙන ඇත. මීට අමතරව ප්‍රතිජීවක ඖෂධ ද පැළෑටි සඳහා  භාවිතයේ අහිතකර ප්‍රතිඵල ලෙස මිනිසා තුල ඒවායේ ක්‍රියාකාරීත්වය අවම වීම වැනි කරුණු මේ වන විට හෙළි වෙමින් පවතී. රසායනික පොහොර අධික ලෙස භාවිතය නිසා භූගත ජලයේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩිවීම නිසා නිල් දරු උපත් සිදුවීම වැනි ඉතා භයානක සිදුවීම් අවට රටවලින් වාර්තා වේ.

රසායනික විෂ වීම සුළුවට තැකිය හැකි කාරණයක් නොවේ. මේවා වරක් පරිසරයට නිකුත් කළ විට, වාතය හරහා, ජලය හරහා, ආහාර පාන හරහා, සම/ මුඛය/ නාසය යන මේ එක්ආකාරයකින් හෝ තුනෙන්ම මිනිස් ශරීරයට ඇතුළු විය හැක. එමෙන්ම ඒවායේ බලපෑම කෙටි කාලීන හෝ දිගු කාලීන විය හැක. ඇතැම් විටෙක, ඔබට නොව ඔබගේ දරුවාට එම රසායනික ශරීර ගත වීමේ ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවනු ඇත. එමෙන්ම ඔබ නොව ඔබගේ අසල් වාසීන් භාවිතා කරන කෘෂි රසායනික ඔවුනට කිසිදු හානියක් නොකොට ඔබට සෞඛ්‍යමය ගැටළු ඇතිකළ හැක.  එබැවින් පරිසරයටත් අපගේ සෞඛ්‍යයටත් මහත් ව්‍යසන ගෙන දෙන මෙම කෘෂි රසායනික භාවිතයෙන් වැළකීම මෙන්ම අනෙක් අයව වැළැක්වීම ද අප සතු යුතුකමක් මෙන්ම වගකීමකි.

ගෙවතු වගාවට කෘමි විකර්ෂකයක් නිවසේදීම සාදා ගමු
දස පරණ කසාය:
කනේරු කොළ, කුරුඳු කොළ, සේර කොළ, වල්සූරියකාන්ත කොළ, නික කොළ, පාවට්ටා කොළ, කොහොඹ කොළ, බුලත් කොළ, ගම්මිරිස් කොළ සහ අරලිය කොළ මෙම සියල්ල එක් කොටස බැගින් ගෙන වතුර කොටස් තුනක් (3) යොදා දින 3ක් තබන්න.
දෙවන දිනයේදී, තවත් බඳුනකට, ගම්මිරිස්, සුදු ලූණු සහ කොච්චි එක් කොටස බැගින් ගෙන ජලය යොදා දිනක් තබන්න.
දැන් මෙම දෙවර්ගයම එකට මිශ්‍ර කර, පෙරා, සවස් කාලයේදී ශාක මතට, දියර ඉසිනයකින් යොදන්න.

සුදු ලූණු නිස්සාරකය:
සුදු ලූණු ග්‍රෑම් 100ක් කොටා භූමිතෙල් ස්වල්පයක් මිශ්‍ර කර පැය 12ක් තබන්න.
මෙම මිශ්‍රණයට රෙදි සෝදන සබන් කැටයක් දමා ලීටර් 20ක් වන තුරු ජලය එක් කර දියර ඉසිනයකින් යොදන්න.

කොහොඹ ඇට නිස්සාරකය:
කොහොඹ ඇට ග්‍රෑම් 40ක් කොටා ජලය මිශ්‍රකර පැය 12ක් තබන්න. පසුව එය පෙරා එයට සබන් මිශ්‍රකර ලීටරයක් වනතුරු ජලය එක්කර ශාක වලට ඉසින්න.

මෙම දත්ත මුද්‍රණය කර ගැනීමට අවශ්‍ය නම් මෙතනින් ගන්න
දියර පොහොර

ජීව මුරුතම්:
එල ගවයකුගේ ගොම, ගිනිසීරියා කොළ, කැලෑ පස්, රතු සීනි සහ සක්කර වැල හෝ වරකා වාතාශ්‍රය ලැබෙන ලෙස තබා දිනකට වරක් හොඳින් කලවම් කරන්න. මෙසේ දින 10ක් තබා 1:5 ලෙස වතුර කලවම් කර ගස්වලට යොදන්න.

 

පැරැන්නන් වී ගොවිතැනේදී භාවිතා කළ ස්වභාවික කෘමි සහ වල් මර්ධන උපක්‍රම

කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව වගාවන් කල හැකි ආකාර අතීතයේ සිටම පැවත එන බව අප දන්නා අතර එම ක්‍රම භාවිතයෙන් පෙර රජ දවස අන් කිසිදු රටකට නොදෙවෙනි කෘෂිකාර්මික වශයෙන් ස්වයං පෝෂිතව අප රට පැවතුන බව ඔබ අප අසා ඇත්තෙමු.

සතුන්ගෙන් හා කෘමීන්ගෙන් වන හානි මර්ධනය

මීයන්ගෙන් වන හානි මර්ධනය

අන්නාසි ශාකයේ ගොබ, හන ගසේ ගොබ පැපොල් කඳන් සහ කොල කුනු වන විට හමන දුඟද මීයන් පලවා හැරීමට සමත් වන හෙයින් මීයන්ගෙන් වන හානි වලකාගැනීමට එදා ගොවීන් කුඹුරු වල එවැනි දේ යෙදූහ.

සාවුන්, ඌරන් වැනි සතුන්ගෙන් වන හානි මර්ධනය

ගොක් කොල වලින් තැනූ සා කන්, පඹයන් වගා බිමේ තැබීම මගින් මෙම සතුන් පලවාහැරීම මඟින් එම සතුන්ගෙන් වන හානිය වලකාගන්නා ලදී.

ගොයම් මැස්සන් මර්ධනය

1. කිරි වැදීගෙන එන ගොයමට ගොයම් මැස්සාගෙන් වන බලපෑම අවම කිරීමට වගා බිමේ පන්දම් දැල්වීම පැරන්නන් සිදු කලහ. එහිදී පන්දම් වෙත ඇදී එන ගොයම් මැස්සන් පිලිස්සී මිය යාම වගාවට වන හානි අවම කරයි. ඒ අතරම සමහර ගොවීන් පන්දම් දල්වා ඇති අතර දෙදෙනෙකු එකතුව ගොයම් කරල් වලට ඉහලින් ලණුවක් ඇදගෙන යයි. එහිදී වසා සිටින මැස්සන් පන්දම වෙත ශීඝ්‍රයෙන් ගමන් කරවීම සිදු කරයි. මෙහිදී යම් කොටසක් මයිනන්, කවුඩන් වැනි පක්ෂීන්ටත් ගොදුරු වෙති.

2. උණු කල දුම්මල දියරයෙන් පෙවූ ලණුවක් කරල් වලට ඉහලින් ඇදගෙන යාම සිදු කරයි. එහිදී දුම්මල දියරයේ ගන්ධය ගොයම් මැස්සන්ට අහිතකර බැවින් උන් දින කිහිපයක් යන තෙක් ආපසු නොපැමිනේ.

3. දිගු රිටක සවිකල කුල්ලක් උණු කරගත් දුම්මල,කොහොල්ලෑ, දලුක් කිරි, දොරණ තෙල් උණු කර කුල්ලේ තවරා ගොම්මන් කාලයේ ගොයම් කරල් වල අතුල්ලාගෙන යයි. ගොයම් මැස්සන් මෙහි ඇලීම ඔවුන් මර්ධනයට හේතු වේ.

4. කුණු වන දලුක් කොල වල ගන්ධය ගොයම් මැස්සන් අප්‍රිය කරන නිසා ඒවා කුඹුරේ තැන් තැන් වල යෙදීම සිදු කරයි.

වෙනත් කෘමීන් හා පනුවන් මර්ධනය

1. කුඹුරේ තැනින් තැන පක්ෂීන්ට වසා සිටීමට හැකි වන පරිදි ලී, පොල් පිති සිටුවීම, කුඹුර වටා ගොඩපර, කුඹුක්, මී, උණ ආදී ගස් වැවීම ජෛව පලිබෝධ මර්ධනයේ උපාය මාර්ගයකි. එම ලී වල හෝ ගස් වල වැසීමට පැමිණෙන පක්ෂීන් දිවා රෑ දෙකේම වාසය කරමින් කෘමීන්ව ආහාරයට ගැනීම සිදුකරයි.

2. ගොඩවෙල්ලන් මර්ධනයට අපූරු ක්‍රමයක් පාරම්පරික ගොවීන් අතර වෙති. කපුටා හැඩීමට පෙර කුඹුරට ගොස් කුඹුරේ කෙසෙල් පිති සිටුවා ඒ මත කිරිබත් කැට තබයි. කුඹුරට එන කපුටන් කිරිබත් කැට ගැනීමට උත්සාහ කරන විට ඒවා බිමට වැටීම නිසා බිමට බසින කපුටන් බිම සිටින ගොඩවෙල්ලන් දැක උන්වද ආහාරයට ගනී.

3. කොහොඹ ඇට පිටි දිය කර පෙරා සබන් වතුර සමඟ මුසුකර දියර ඉසිනයකින් ගොයමට ඉසීමෙන් වගාවේ කෘමි හානි, පත්‍ර හානි, මර්ධනය කල හැක.

4. කලවැල් යුෂ කෘමීන්, පනුවන් හා කීඩෑවන් මර්ධනයට යොදා ගනී. කලවැල් කැබැල්ලක් තලා වරුවක් පමණ වතුරේ පොගවා (අඟල් 6ක පමණ කැබැල්ලක් වතුර බෝතල් දෙකක) පෙරා බෝතල් බාගය බැගින් දියර ඉසිනයට දමා වතුර පුරවා ගොයමට ඉසිනු ලැබීය. කලවැල් කැබිලි තලා වක්කඩවල් වල තැබීමෙන් පණු හානි බොහෝ දුරට මර්ධනය කරගත හැක.

5. පුස්වැල් කැබැල්ලක්, පතොක්, නාවා කොල තලා කුඹුරේ ප්‍රධාන වක්කඬේ තැබීමෙන් වතුර සමඟ කලවම් වී කුඹුර පුරා විසිරෙන පුස් වැල් යුෂ නිසා කෘමීන් මර්ධනය වේ. (මෙය කෙටි ක්‍රමයකි)

6. හිඟුරු කොල, කොහොඹ කොල, කනේරු කොල, වල් සූරියකාන්ත කොල කොටා වතුර සමඟ මිශ්‍ර කර දිනක් තබා දියර ඉසිනයකින් ගොයමට ඉසීමෙන් කෘමීන් පාලනය වේ.

7. ඉත්තෑ කොල කොටා දුඹුලු දැලි සමඟ අඹරා වක්කඬේ තැබීමෙන් පණුරෝග මර්ධනය කළ හැක..

8. ගුරුන්ද ලී කැබලි දමා පල්වීමට ඉඩහරින ලද වතුර ගොයමට ඉසීමෙන් කෘමීන් මර්ධනය කළ හැක..

9. දාස් පෙතියා මල් වලින් දුඟදක් හමයි. ගොයමට එන කෘමීන්ට ඒවා අප්‍රිය නිසා එමගින් කෘමීන් පාලනය කළ හැක.

10. ජලයෙන් තම්බාගත් දුම්කොල නැටි දියර ගොයමට ඉසීමෙන් පණු රෝග මර්ධනය කළ හැක..

11. ගොවිබිම් පුරන් කිරීමද හානිකර කෘමි ගහනය අඩු කිරීමට පිලියමකි.

12. කන්නයේ වී වගාවට පෙර කුඩා බිම් ප්‍රදේශයක වගාව සිදු කර ඊට බෝවන පලිබෝධකයන් විනාශ කර දමා කන්නයේ වගාව කිරීම පැරණි තවත් පලිබෝධ මර්ධන උපක්‍රමයකි.

13. මෙම උපක්‍රම හා ජෛව පාලන ක්‍රම හැරුනු විට පුද පූජා, කෙමි ක්‍රම, ශාන්ති කර්ම පැරණි ගොවීන් විසින් යොදාගෙන ඇත.

වල් මර්ධනය

  1. පිදුරු වසුන් යෙදීම. අඟල් 3ක් පමණ ඝණකම වියලි පිදුරු ආස්තරයක් පාසා කරගෙන වී ඇටයට පැල වීමට හැකියාව ඇත. ඒ නිසා වී වැපිරීමෙන් පසු පිදුරු ආස්තරයට යෙදීමෙන් වී ඇටයේ වැඩීමට බලපෑමක් නොවෙනු ඇත. නමුත් වල් මර්ධනය බොහෝ දුරට සිදු වේ. පිදුරු වල කාබනික, පූර්ණ වල් නාශකයක් ඇති කාබනික සංයෝගයක් ඇත. එම පූර්ණ වල් නාශකයේ ප්‍රතිඵල ලබාගැනීමට නම් හෙක්ටයාර 1ට පිදුරු ටොන් 4ක් යෙදිය යුතුය. එය අඟල් 3ක පමණ ඝන ආස්තරයක් වශයෙන් යෙදිය යුතුය. එසේ පිදුරු යොදා ගැනීමෙන් ස්වාභාවිකවම වල් මර්ධනය වනු ඇත. එසේම පිදුරු වසුන් යෙදීම තවත් ප්‍රයෝජන රැසක් අත් වේ. මේ ආකාරයට පිදුරු වසුන් කිරීම කන්නයක් පාසා වී වැපිරීමෙන් පසු කිරීමෙන් ප්‍රතිඵල අඛණ්ඩව අත් කර ගත හැක.
  2. වතුර බැදීම. එහිදී ගොයම් ගස නොවැසෙන සේ වල් ශාකය වැසෙන සේ සතියක් පමණ ජලය බැඳ තැබීම සිදුකරයි. එහිදී වල් ඉබේම විනාශ වී යයි.

මෙතරම් උපක්‍රම තිබියදී කුමටද විෂ රසායනික?

ඇමිණුම්:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *