Save the environment, Save the future

“කිලිටි දුසිම” ගණනින් දෙගුණය ඉක්මවයි!!!

ඉතා කුඩා සාණ්ද්‍රණ වලින් පවා ඇතිවිට විශාල වශයෙන් පරිසරයටත් මානුෂික සෞඛ්‍යටත්, අන් ජීවීන්ටත් ඉතා භයානක හානි ගෙනදෙන කාබනික රසායනික සංයෝග  දිගුකල් පවතින/හායනය නොවන කාබනික රසායනික දූෂක (Persistent organic pollutants -POPs) ලෙස හදුන්වයි. 

මේවායේ ආවේණික ලක්ෂණ වන්නේ, පරිසරය තුල ස්වභාවිකව හායනයට ලක් නොවීම, අර්ධ වශයෙන් වාෂ්පශීලී වීම, ජල ද්‍රාව්‍යතාවය අවම වීම සහ ඉතා සුළු සාණ්ද්‍රණයකදී පවා ජීවීන්ගේ ජෛව ක්‍රියාවලීන්ට හානිකර වීමයි. මීට අමතරව ජලය, හිම, මීදුම, වර්ෂාව, සතුන් සහ සුළඟ වැනි මාධ්‍ය හරහා ඉතා දිගු පරාසයක පැතිරීමට හැකියාව ඇති මේවා මිනිසා ඇතුළු ජීවීන් තුල සාන්ද්‍රගතවේ (Bioaccumulate). මූලික වශයෙන් මේවා මිනිස් හා කාර්මික ක්‍රියාවලීන්හි ඵල සහ අතුරු-ප්‍රතිඵල ලෙස නිපදවේ. 

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ පාලන මණ්ඩලය මගින් 1995 දී මුලින්ම හායනය නොවන රසායනික පිළිබදව විමර්ශනය අරඹන ලදී. මුලින්ම “කිලිටි දුසිම” (Dirty dozen) ලෙස හදුන්වා දෙමින් රසායනික වර්ග 12 ක් නම් කරන ලද අතර ස්ටොක්හෝම් සම්මුතිය මෙම සංයෝග තහනම් කිරීම ක්‍රියාත්මක කරන ලද්දේ  2004 වසරේ මැයි 17 වන දින සිටයි. එතැන් පටන් අද වනතුරු නව සංයෝග 14ක් “හායනය නොවන කාබනික දූෂක” (POPs) ලැයිස්තුවට ඇතුලත් කර ඇති අතර 2017 මැයි පැවැත්වීමට නියමිත 8 වන “පාර්ශව වල සම්මේලනයෙන්” (Conference of the Parties – COP 8) අනතුරුව තවත් ස‍යෝග තුනක් මීට ඇතුලත් කිරීමට නියමිතය.

ඒ අනූව හායනය නොවන කාබනික දූෂක වන්නේ;

කිලිටි දුසිම (Dirty dozen)

  1. ඇල්ඩ්‍රින් – Aldrin
  2. ක්ලෝඩේන් – Chlordane
  3. ඩයික්ලෝරො ඩයිෆීනයිල් ට‍්‍රයික්ලෝරො එතේන් – DDT
  4. ඩයල්ඩ්‍රින් – Dieldrin
  5. එන්ඩ්‍රින් – Endrin
  6. හෙප්ටක්ලෝර් – Heptachlor
  7. හෙක්සොක්ලෝරොබෙන්සීන් – Hexachlorobenzene (HCB)
  8. මිරෙක්ස් – Mirex
  9. ටොක්සෆේන් – Toxaphene
  10. පොලික්ලෝරිනේටඞ් බයිෆීනයිල්ස් – Polychlorinated biphenyls (PCB)
  11. ඩයොක්සීන් – Polychlorinated dibenzo-p-dioxins (PCDD)
  12. ෆියුරන් – Polychlorinated dibenzofurans (PCDF)

 අලුතින් ඇතුලත් කරන ලද ස‍යෝග 14;

  1. ක්ලෝඩෙකෝන් – Chlordecone
  2. හෙක්සබ්‍රෝමොබයිෆීනයිල් – Hexabromobiphenyl
  3. පෙන්ටාක්ලොරොබෙන්සීන් – Pentachlorobenzene
  4. ලින්ඩේන් – Lindane
  5. ඇල්ෆා හෙක්සාක්ලෝරොසයික්ලොහෙක්සේන් – Alpha hexachlorocyclohexane (α-HCH)
  6. බීටා හෙක්සාක්ලෝරොසයික්ලොහෙක්සේන් – Beta hexachlorocyclohexane (β-HCH)
  7. ටෙට්‍රාබ්‍රොමොඩ්යිෆීනයිල් ඊතර් සහ පෙන්ටබ්‍රොමොඩ්යිෆීනයිල් ඊතර් – Tetrabromodiphenyl ether and pentabromodiphenyl ether (commercial PentaBDE)
  8. හෙක්සබ්‍රෝමොඩයිෆීනයිල් ඊතර් සහ හෙප්ටබ්‍රෝමොඩයිෆීනයිල් ඊතර් – Hexabromodiphenyl ether and heptabromodiphenyl ether (commercial OctaBDE)
  9. ප-ෆ්ලූරො ඔක්ටේන් සල්ෆොනේට් (PFOS)  එහි ලවණ සහ සල්ෆොන්යිල් ෆ්ලුරයිඩ් (PFOSF) – Perfluorooctane sulfonate (PFOS), its salts, and PFOSF
  10. එන්ඩොසල්ෆාන් – Endosulfan
  11. හෙක්සාබ්‍රෝමොසයික්ලොඩොඩෙකේන් – Hexabromocyclododecane (HBCD)
  12. හෙක්සාක්ලොරොබියුටඩීන් – Hexachlorobutadiene (HCBD)
  13. පෙන්ටක්ලොරොෆීනෝල් – Pentachlorophenol (PCP)
  14. පොලික්ලෝරිනේටඩ් නැප්තලීන – Polychlorinated naphthalenes (PCNs)

අලුතින් ඇතුලත් කිරීමට නියමිත සංයෝග;

  1. ඩෙකාබ්‍රෝමොඩයිෆීනයිල් ඊතර් – Decabromodiphenyl ether  (DecaBDE)
  2. කෙටි දාම ක්ලෝරිනිකෘත පැරෆීන – Short-chain chlorinated paraffins
  3. හෙක්සක්ලෝරොබියුටඩීන් – Hexachlorobutadiene (HCBD)

ඇතුලත් කිරීම සඳහා සැලකීමට බඳුන්කර ඇති සංයෝග;

  1. ඩිකොෆොල් – Dicofol
  2. පර්ෆ්ලුඔරො ඔක්ටනොයික් අම්ලය – Perfluorooctanoic acid (PFOA)

මේ අනූව නුදුරු අනාගතය වන විට හායනය නොවන කාබනික දූෂක සංඛ්‍යාව 31ක් වනු ඇත.
වඩා වැදගත් වන්නේ මෙම සංයෝග වල ඇති හානිකර තත්වය අවබෝධ කර ගැනීමයි. එවිට මෙම සංයෝග සහිත ප්‍රභව හඳුනා ගැනිමටත් ඒවා ශරීරගත වීමෙන් වැළකීමටත් නිතැතින් යොමු වනු ඇත.

දිගුකල් පවතින රසායනික මිනිසා කෙරෙහි බලපාන ආකාර;

  • ස්නායු පද්ධතියේ, ශ්වසන පද්ධතියේ හා ආමාශයේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවයි.
  • අංගවිකල දරැවන් බිහිවීම සිදුවේ
  • ළදරුවන්ගේ උපත් බර අඩු කරයි
  • Prostate cancer හෙවත් පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා ඇති වීමට හේතු වේ.
  • දරුවන්ගේ ඉගෙනීම හෙමින් සිදුවේ
  • වර්ධනය හීනකරයි
  • දියවැඩියාවට හේතු වේ
  • ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වල කරයි
  • මානසික ව්‍යාකූලතාවය,
  • ඇසේ සහ ශ්වසන පද්ධතියේ අපහසුතා,
  • ඇසේ සහ ශ්වසන පද්ධතියේ ශ්ලේශ්මල පටල වල කැසීම්,
  • සමේ කුෂ්ඨ,
  • හෝමෝන වල වෙනස්කම්,
  • එන්සයිම ක්‍රියාවලියේ වෙනස්කම්,
  • හිසරදය,වමනය, කැස්ස වැනි රෝගී තත්ව,
  • ආහාර දිරවීමේ දුර්වලතා,                   ඇති වීමට හේතු වේ.

දිගුකල් පවතින රසායනික වෙනත් ජීවීන් කෙරෙහි බලපාන ආකාරය;

  • ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දෝෂ ඇති කරයි
  • පිළිකා ඇති කරයි
  • උපත් දෝෂ ඇති කරයි

උදා. සාගර ක්ෂීරපායී සතුන් වන මුහුදු ඌරන්, ඩොල්ෆින්, සීල් මසුන් හා මෝරුන් ආදියේ ගහනය විශාල ලෙස අඩුවීමට ලක්වීම,ගොඩබිම වෙසෙන අලි ඇතුන්, ගවයන්, පක්ෂීන් ආදියේ ගහනය අඩුවීම

  • පළිබෝධනාශක ශරීරගත වීම නිසා ශරීරයේ සිදුවන කැල්සියම් සමතුලිතතාවයේ වෙනස නිසා තුනී කටුවක් සහිත බිත්තර දැමීම මගින් නියමිත කාලයට පෙර පිටතට පැමිණෙන පැටවුන් මියයාම නිසා පක්ෂීන් වඳවීම.
  • පළිබෝධනාශක සහිත ශාක උලාකෑම නිසා උලා කන සතුන්ගේ දත් විකෘති වීම සිදුවේ.
  • පළිබෝධනාශක පසට එක්වීම නිසා පසේ සිටින පාංශු ජීවීන්, ගැඩවිලුන් විනාශ වීම.
  • පරාගනයට උදව්කරන කෘමි විශේෂ පළිබෝධනාශක හේතුවෙන් විනාශ වී යයි.

POPs ශරීරගත විය හැකි ආකාර;

ආමාශ ගත වීමෙන්;

  • දූශිත ජලය පානය මගින්
  • දිගුකල් පවතින රසායනික අන්තර්ගත ශාකමය ආහාර, මස්, මාලු, කිරි, ආහාරයට ගැනීමෙන්
  • පළිබෝධනාශක ඉසිමින් ආහාර සහ බුලත්විට කෑමෙන්
  • පළිබෝධනාශක හා කාර්මික රසායනික ද්‍රව්‍ය නිශ්පාදනයේදී, ප්‍රවාහනයේදී හා අලෙවියේදී අත්වල ස්පර්ශවීමෙන්.
  • බිහි නොවූ හා කිරිබොන දරැවන්ට මවගේ මේද මගින්

ආශ්වාසයෙන්;

  • දූශිත වායු ආශ්වාස කිරීමෙන්
  • පළිබෝධනාශක ඉසීමේදී දුම්පානය කිරීමෙන්

ස්පර්ශය මගින්;

  • දූෂිත POPs රසායනික සහිත ජලය ස්නානය කිරීමෙන්
  • පළිබෝධනාශක ඉසීමේදී
  • කාර්මික රසායනික ඉසීමේදී
  • කෘෂි අස්වනු නෙලීමේදී
  • පළිබෝධනාශක කාර්මික රසායනික පිරවුම් මධ්‍යස්ථාන වලදී, ප්‍රවාහනයේදී හා අලෙවියේදී
මෙහි දක්වා ඇත්තේ හායනය නොවන රසායනිකයක් වන ඩයොක්සීන, පරිසරයට නිකුත් වූ තැන් සිට ආහාර හරහා සතුන් මඟින් මිනිසුන්ට ඇතුළු වන ආකාරයයි. සරලව කිව හොත්, ආහාර දාම හරහා ජෛව සාන්ද්‍රගතවීම සිදුවන ආකාරයයි. පැහැදිලි කාරණය නම්, නිකුත් කරන්නේ කවුරුන් වුවද අවසන් වන්නේ හය හතර නොදත් දරුවන්ගෙනි. එයද අධි සාන්ද්‍රණයෙනි.

දිගුකල් පවතින රසායනික පරිසරයට එක් වන ආකාර;

  • කාර්මික, නාගරික සහ රෝහල් අපද්‍රව්‍ය සහ ගෘහස්ථ කසළ පිළිස්සීම
  • පලිබෝධනාශක භාවිතා කිරීමෙන් පසු හිස් බෝතල් ජලාශ වලට දැමීම හා පලිබෝධනාශක ඉසින යන්ත්‍ර ජලාශ වලට සේදීම.
  • කර්මාන්තශාලාවලදී රසායනික කාන්දු වීම, රසායනික නිශ්පාදනයේදී, ප්‍රවාහනයේදී හා අලෙවියේදී
  • POPs රසායනික අඩංගු අසුරණ නිසිලෙස බැහැර නොකිරීමෙන්
  • ගොඩනැගිලි නඩත්තු කටයුතු වලදී
  • ලෝහ උනු කිරීමේදී
  • වනාන්තර ගිනිතැබීමේදී
  • සිමෙන්ති පෝරණුවලදී
  • තෙල් පිරිපහදු කිරීමේදී

හායනය නොවන කාබනික රසායනික ශරීරගත නොවීමට වගබලා ගැනීම කළ හැකි දෙයක් නොවේ. මන්ද යත්, මෙම සංයෝග දැනටමත් ලොව පුරා විශාල වශයෙන් නිපදවී, පැතිරී ඇති බැවින් සහ නිපදවෙමින් පවතින බැවිනි. එසේම ඔබ නොවුවත් ඔබගේ අසල් වැසියා නිවසේ කසළ පුළුස්සයි නම් ඔබට ද මේවා ශරීරගත විය හැක. ඔබ කසළ පිළිස්සීමක් නොදැකවත් තිබුනද ගොවිබිමක් අසලකට වත් නොගිය පුද්ගලයෙක් වුව ද ඔබගේ ආහාරයේ සැඟවී මෙම සංයෝග ශරීරගත විය හැක. නමුත් ශරීරගත වන ප්‍රමාණය අවම කිරීමට අපට කල හැකි දේ බොහෝ වේ.

ශරීරගත වීමේ අවධානය අවම කිරීමට;

  1.  ගෘහස්ථ කැළි කසල පිළිස්සීමෙන් වලකින්න. අප නිවසේ භාවිතා කර ඉවතලන බොහොමයක් ද්‍රව‍ය වල හායනය නොවන රසායනික අන්තර්ගතව තිබිය හැක. උදාහරණ වශයෙන්; ප්ලාස්ටික්, පී.වී.සී, විදුළි රැහැන්, ඇඟළුම්, සම් භාණ්ඩ, ජලය නොරැඳෙන පාපිසි, රබර් උපකරණ, කඩදාසිමය ආවරණ ආදිය… මේ නිසා මේවා එළිමහනේ පිළිස්සීම නුසුදුසුය. වඩා ආරක්ෂිත ක්‍රියාවලිය වන්නේ අවම වශයෙන් දිරන නොදිරන වශයෙන් හෝ කැළි කසළ වෙන් කර ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට භාරදීමයි.
  2. පළිබෝධනාශක, දිලීරනාශක, වල් නාශක, කෘමිනාශක ඇතුළු පළිබෝධ පාලනයට ඇති රසායනික භාවිතය අවම කරන්න.හැකි සෑම විටම, මේ සඳහා ස්වභාවික අමුද්‍රව‍යයන්ගෙන් සාදන ලද යමක් හෝ විකල්ප පළිබෝධනාශක ක්‍රමයක් භාවිතා කිරීමට උත්සාහ කරන්න.
  3. ඔබගේ ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබ එළවලු සමඟ මිලදී ගත් පිළිබෝධනාශක සම්පූර්ණයෙන් ආහාරයට නොගැනීමට නම්;
    – ඒවා හොඳින් අතුල්ලා ගලායන ජලයෙන් සෝදන්න,
    – හැකි සැම විටම එළවලු සහ පළතුරු වල පොත්ත ඉවත් කර ආහාරයට ගන්න,
    – නිවෙසට රැගෙන ආ පසු ශීතකරණයට දැමිමට පෙර එළිමහනේ වරුවක් වත් තැබීමෙන්, වාෂ්පශීලී පළිබෝධනාශක වලින් තවදුරටත් ප්‍රවේශම් විය හැක.
    – අවම වශයෙන් පලා වර්ග වත් නිවසේ වගා කර ගන්න.
  4. මාංශමය ආහාර වල අන්තර්ගතව තිබිය හැකි හායනය නොවන රසායනික වලින් ගැලවීමට නම්;
    # සම ඇතුළු මේදමය කොටස් ආහාරයට ගැනීමෙන් වළකින්න.
    # මත්ස්‍යයන්ගේ, කරමල්, ආහාර මාර්ගය සහ හිස වැනි කොටස් ආහාරයට ගැනීමෙන් වළකින්න (හිස කොටසේ ඇති ඇඩිපෝස් මේද කොටස් තුල මේද ද්‍රාව්‍ය හානිකර රසායනික මෙන්ම බැර ලෝහ ද අන්තර්ගතව තිබිය හැක ).

හායනය නොවන කාබනික දූෂක වල ප්‍රභවයන්

*මෙහි දක්වා ඇත්තේ මෙම සංයෝග තහනම් කරන විට ඒවා අඩංගුව තිබූ ප්‍රභවයන්ය. අද වනවිට යොදා නොගැනේද යන්න ස්ථීරව සටහන් කළ නොහැක.

සංයෝගය ප්‍රභව*
1. ඇල්ඩ්‍රින් – Aldrin පසේ සිටින වේයන්, “ඉරිඟු මුල් පණුවන්”, ගුල්ලන්, පළාපෙත්තන් මර්ධනයට භාවිතා කරයි. ලී වලින් සාදන ලද භාණ්ඩ වේයන්ගෙන් ආරක්ෂා කිරීමටද යොදාගනී.
2. ක්ලෝඩේන් – Chlordane කෘෂිකර්මාන්තයේදී කෘමීන් වර්ග රැසක් මර්ධනය සඳහා යොදා ගනී. එළවළු, කුඩා බීජ, තෙල් සහිත ඇට වර්ග, අර්තාපල්, උක්ගස්, බීට්, පළතුරු බීජ, පුළුන් ආදියේ කෘමීන් මර්ධනයට.
3. ඩයික්ලෝරො ඩයිෆීනයිල් ට‍්‍රයික්ලෝරො එතේන් – DDT දෙවන ලෝක යුද්ධ සමයේදී මැලේරියා මදුරුවන් මර්ධනයටද පසුව කෘෂිකාර්මික බෝග වල රෝග වාහකයන් මර්ධනයටද යොදාගන්නා ලදී.
4. ඩයල්ඩ්‍රින් – Dieldrin කෘෂිකර්මාන්තයේදී පාංශු කෘමීන් මර්ධනයට බහුලව යොදා ගනී. වේයන් ඇතුළු ලී භාණ්ඩ වලට හානිකරන කෘමීන් මර්ධනයට යොදාගනී.
5. එන්ඩ්‍රින් – Endrin කෘමිනාශකයකි. ප්‍රධාන වශයෙන් කපු හා බීජ ලබා දෙන වගාවන් සඳහා යොදා ගනී.
6. හෙප්ටක්ලෝර් – Heptachlor කෘමීන් මර්ධනයට සහ රබර් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය ගිනි ගැනීම වළක්වන රසායනිකයක් වශයෙන් යොදා ගනී.
7. හෙක්සොක්ලෝරොබෙන්සීන් – Hexachlorobenzene (HCB) 1945දී දිලීර නාශකයක් ලෙස පළමු වතාවට හඳුන්වාදෙන ලදී. කෘතීම රබර්, ගිනිකෙළි හා පුපුරණ ද්‍රව‍ය සෑදීම සඳහා යොදා ගනී. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්, ප-ක්ලෝරො එතිලීන්, ට්‍රයික්ලෝරො එතිලීන්, පෙන්ටාක්ලෝරො එතිලීන් වැනි කාර්මික රසායනික නිපදවීමේදී අතුරුඵල ලෙස ඇතිවේ.
8. මිරෙක්ස් – Mirex කෘමිනාශකයකි. පාංශු කෘමීන් සහ වේයන් මර්ධනයටද පුළුන් වගාවේ කෘමීන් මර්ධනයට සහ පළඟැටියන් මර්ධනයට යොදා ගනී.
9. ටොක්සෆේන් – Toxaphene කෘමිනාශකයකි. කපුවගාවේ, ධාන්‍ය, පළතුරු හා එළවලු වගාවේ කුමීන් මර්ධනයට යොදා ගනී.
10. පොලික්ලෝරිනේටඞ් බයිෆීනයිල්ස් – Polychlorinated biphenyls (PCB) පරිණාමක (ට්‍රාන්ස්ෆෝමර්) වල ශීතකාරකයක් ලෙස, ධාරිත්‍රක වලවිද්‍යුත් පරිවාරකයක් ලෙස බහුලව භාවිතා කරයි. තීන්ත සහ මතුපිට ආලේපන වල ගිනිගැනීම වළක්වන රසායනිකයක් ලෙසද භාවිත කරයි.
11. ඩයොක්සීන් – Polychlorinated dibenzo-p-dioxins (PCDD) රෝහල් අපද්‍රව්‍ය, නාගරික අපද්‍රව්‍ය, පීට් දහනයෙන් සහ ගල් අගුරු බලාගාර වලින් පිටවේ.
12. ෆියුරන් – Polychlorinated dibenzofurans (PCDF) රෝහල් අපද්‍රව්‍ය, නාගරික අපද්‍රව්‍ය, පීට් දහනයෙන් සහ ගල් අගුරු බලාගාර වලින් පිටවේ.
13. ක්ලෝඩෙකෝන් – Chlordecone දුම්කොළ, විසිතුරු පඳුරු, කෙසෙල්, පැඟිරි ශාකවල, කෘමිනාශකයක් ලෙස සහ කූඹි සහ ඇතැම් මාළු සදහා උගුල් ලෙස යොදා ගනී.
14. හෙක්සබ්‍රෝමොබයිෆීනයිල් – Hexabromobiphenyl ගිනි මන්දකයක් ලෙස; මෝටර්, ගුවන්විදුලි සහ රූපවාහිනී යන්ත්‍ර ආවරන වල යොදා ගන්නා ඇක්‍රිලොනයිට්‍රයිල්-බුටඩයි ඊන්ස්ටයිරීන (ABS) තාපසුවිකාර්ය (thermoplastic) නිපදවීමේදී,
ලාකඩ (ලැකර්) සහ කබා රෙදි වල, අතුරුණු සදහා හා පොලි යුරේතේන් පෙණවල යොදා ගනී.
15. පෙන්ටාක්ලොරොබෙන්සීන් – Pentachlorobenzene පෙන්ටක්ලොරොනයිට්‍රොබෙන්සීන් දිලීරනාශකය වැනි පළිබෝධනාශක නිශ්පාදනයේදී අතර මැදි රසායනිකයක් ලෙස, ගිනි මන්දකයක් ලෙස යොදා ගන්නා අතර ගෘහස්ථ හා නාගරික කසල දහනයේදී නිපදවේ.
16. ලින්ඩේන් – Lindane පළිබෝධනාශකයකි. උකුණන් හා පණු හොරි මර්දනයට යොදා ගන්නා ඖෂධයක් ලෙසද යොදා ගන්නා ලදී.
17. ඇල්ෆා හෙක්සාක්ලෝරොසයික්ලොහෙක්සේන් – Alpha hexachlorocyclohexane (α-HCH) කාර්මික හෙක්සාක්ලොරොහෙක්සේන් නිශ්පාදන ක්‍රියාවලියේදී සෑදේ. කෘමිනාශකයක් ලෙස යොදාගනී, ලින්ඩේන් රසායනිකව නිශ්පාදනයේදී අතරමැදි රසායනිකයක් ලෙස යොදා ගන්නා ලදී.
18. බීටා හෙක්සාක්ලෝරොසයික්ලොහෙක්සේන් – Beta hexachlorocyclohexane (β-HCH) කාර්මික හෙක්සාක්ලොරොහෙක්සේන් නිශ්පාදන ක්‍රියාවලියේදී සෑදේ. කෘමිනාශකයක් ලෙස යොදාගනී, ලින්ඩේන් රසායනිකව නිශ්පාදනයේදී අතරමැදි රසායනිකයක් ලෙස යොදා ගන්නා ලදී.
19. ටෙට්‍රාබ්‍රොමොඩ්යිෆීනයිල් ඊතර් සහ පෙන්ටබ්‍රොමොඩ්යිෆීනයිල් ඊතර් – Tetrabromodiphenyl ether and pentabromodiphenyl ether (commercial PentaBDE) ඇතැම්  ගිනි මර්ධක, මුද්‍රිත පරිපථ පත්‍ර (printed circuit boards), වාහන, ගොඩනැගිලි කොටස් ගැලවීමේදී වැනි කාර්මික ක්‍රියා වලදී යොදා ගන්නා ලදී.
20. හෙක්සබ්‍රෝමොඩයිෆීනයිල් ඊතර් සහ හෙප්ටබ්‍රෝමොඩයිෆීනයිල් ඊතර් – Hexabromodiphenyl ether and heptabromodiphenyl ether (commercial OctaBDE) ගිනි මන්දක (flame retardants) ලෙස යොදා ගනී.
21. ප-ෆ්ලූරො ඔක්ටේන් සල්ෆොනේට් (PFOS)  එහි ලවණ සහ සල්ෆොන්යිල් ෆ්ලුරයිඩ් (PFOSF) – Perfluorooctane sulfonate (PFOS), its salts, and PFOSF පාපිස්නා වල; පැල්ලම් හා පස් විකර්ෂක, ආහාර අසුරණ වල; තෙල් හා මේද විකර්ෂක, අර්ධ සන්නායක නිෂ්පාදනය, අහස් යානා වල වා මුසු ද්‍රාවක (Hydraulic fluids), ෆ්ලුරොතෛලෝදකාරක වැනි ගිනි නිවන පෙණ වල, ඇඳුම් වල ජල විකර්ෂක ලෙස, හමුවේ. මේ හැර, තවත් යෙදීම් රාශියක් තුල භාවිතයට, ස්ටොක්හෝම් සම්මුතිය මඟින් අවසර දී ඇත.
22. එන්ඩොසල්ෆාන් – Endosulfan කිණිතුල්ලන්, කීඩෑවන් වැනි ඇරැක්නිඩේ වර්ගයට අයත් කෘමීන් මර්ධනයට යොදා ගනී.
23. හෙක්සාබ්‍රෝමොසයික්ලොඩොඩෙකේන් – Hexabromocyclododecane (HBCD) ගිණි මන්දක රසායනිකයක් ලෙස ඇතැම් වාහන, ගොඩනැගිලි වල, පොලිස්ටයිරීන් පෙන පරිවාරක තුල යොදා ගනී.
24. හෙක්සාක්ලොරොබියුටඩීන් – Hexachlorobutadiene (HCBD) කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සහ ටෙට්‍රාක්ලෝරො එතේන් නිශ්පාදනයේදී සෑදෙන බියුටේන, ක්ලෝරීනකෘත කිරීමේදී හට ගනී.
25. පෙන්ටක්ලොරොෆීනෝල් එහි ලවණ සහ එස්තර – Pentachlorophenol its salts and esters (PCP) 1930දී මුලින්ම නිපදවන ලදී. වල්නාශකයක්, කෘමිනාශකයක්, දිලීරනාශකයක්, ඇල්ගීනාශකයක්, විෂබීජ නාශකයක් සහ  මළ බැඳීම වළකන තීන්ත තුල සංඝටකයක් ලෙස යොදා ගනු ලබයි. ඇතැම් කෘෂි බීජ තුලද, සම් භාණ්ඩ, ලී භාණ්ඩ ආරක්ෂකයක් ලෙසද, ජල සිසිලන කුළුණු වලද ලණු සහ කඩදාසි ඇඹරුම් පද්ධති වලද යොදා ගන්නා ලදී.
26. පොලික්ලෝරිනේටඩ් නැප්තලීන – Polychlorinated naphthalenes (PCNs) විදුලි රැහැන් වල පරිවාරක ආවරණ ලෙස, දැව සංරක්ෂකයක් ලෙස, ධාරිත්‍රක, පාරවිද්‍යුත් ද්‍රව්‍ය (dielectrics) හා ලිහිසි තෙල් තුල රබර් සහ ප්ලාස්ටික් ආකලන සංයෝගයක් (additive) ලෙස  භාවිත කර ඇත.

ඇතුලත් කිරීම සඳහා සැලකීමට බඳුන්කර ඇති සංයෝග;

27. ඩෙකාබ්‍රෝමොඩයිෆීනයිල් ඊතර් – Decabromodiphenyl ether  (DecaBDE) විද්‍යුත් උපකරණ, ගෘහභාණ්ඩ වල මෙට්ට/ කවර, වාහන, අහස් යානා, ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය තුල ගිනි මන්දකයක් ලෙස යොදා ගන්නා ලදී.
28. කෙටි දාම ක්ලෝරිනිකෘත පැරෆීන – Short-chain chlorinated paraffins ලෝහ කැපීම සහ පිහිටුවීමේ කාර්යයේදී මෙන්ම ද්විතීයික සුවිකාරක (secondary plasticizers), ගිනි මන්දක, තුල ලිහිසි ද්‍රව්‍ය හා සිසිලන ද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ලදී.
29. ඩිකොෆොල් – Dicofol ඇරැක්නිඩේ වර්ගයට අයත් කෘමීන් මර්ධනයට යොදා ගන්නා කෘමිනාශකයකි.
30. පර්ෆ්ලුඔරො ඔක්ටනොයික් අම්ලය – Perfluorooctanoic acid (PFOA) ප්‍රධාන වශයෙන් පලස් තුල, රෙදිපිළි සහ ඇඟලුම් සඳහා මෙන්ම පාපිසි ආරක්ෂක නිශ්පාදන සහ කඩදාසි නිශ්පාදන වල ආවරණ සංයෝග ලෙස භාවිතා කර ඇත.

 

තොරතුරු උපුටා ගැනීම:

  1. Stockholm convention (accessed on January 2017)
  2. Restricted Flame Retardants  (accessed on January 2017)
  3. Dicofol fact sheet (accessed on January 2017)
  4. Short-Chain Chlorinated Paraffins (accessed on January 2017)
  5. http://www.abah.bioflux.com.ro/docs/2011.3.1-9.pdf
  6. http://www.chem.unep.ch/pops/alts02.html
  7. http://www.thefreedictionary.com/Bio-accumulate
  8. http://www.thefreedictionary.com/biomagnifications
  9. http://en.wikipedia.org/wiki/Persistant_organic_pollutant
  10. http://en.wikipedia.org/wiki/Persistant_organic_pollutant
  11. http://www.ncbi.nlm.nih.gov/pubmed/16801591
  12. http://whqlibdoc.who.int/publications/2010/9789241501101_eng.pdf
  13. Fact sheets of 22 persistent organic pollutants (POPs) under Stockholm Convention published by Center for public health and environmental development (CEPHED)
  14. file:///E:/Chalani/pentachloorbenzeen.pdf (accessed on March 2012)

 

 

 

2 thoughts on ““කිලිටි දුසිම” ගණනින් දෙගුණය ඉක්මවයි!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *