ඇස්බැස්ටස් යනු?

ඇස්බැස්ටස් යනු ස්වභාවිකව පරිසරයේ, කෙදි මිටි වශයෙන් පවතින තනි කෙදි බවට පත් කල හැකි ඛණිජයකි.මෙම කෙදි තාපයට, ගින්දරට හා රසායනික ද්‍රව්‍ය වලට ඔරොත්තු දෙන අතර තාප පරිවාරක වේ. මේ හේතුවෙන් ඇස්බැස්ටස් බොහෝ කර්මාන්ත සදහා යොදා ගනී.
ප්‍රධාන වශයෙන් ඇස්බැස්ටස් කාණ්ඩ දෙකකි. සර්පන්ටයින් ඇස්බැස්ටස් සහ ඇම්ෆිබෝල් ඇස්බැස්ටස්. කාර්මිකව බොහෝ විට යොදාගනු ලබන්නේ සර්පන්ටයින් ඇස්බැස්ටස් කාණ්ඩයට අයත් ක්‍රිසොටයිල් ඇස්බැස්ටස්ය.

6-types-of-asbestos

ක්‍රිසොටයිල් ඇස්බැස්ටස් හෙවත් සුදු ඇස්බැස්ටස්:

රැලි සහිත කෙදි වේ. මෙය බොහෝ රටවල තහනම් කර ඇති අතර ඇමෙරිකාව හා යුරෝපයේ පමණක් සීමිත අවශ්‍යතා සදහා යොදා ගනී. බහුල යොදාගැනීම් වන්නේ, පීලි සහිත වහල තහඩු, සිවිලිම් සදහා යොදා ගන්නා පැතලි තහඩු, තිරිංග ආස්තර, පයිප්ප පරිවරණ සහ පොළවට අතුරණ පිගන්ගඩොල් නිශ්පාදනය සදහාය.

ඇමොසයිට් හෙවත් දුඹුරු ඇස්බැස්ටස්

තාප පරිවාරක නිශ්පාදන වල ගිනි මන්දකයක් ලෙස සහ සිවිලිම් තහඩු සදහා යොදාගනු ලබයි.

ක්‍රොසිඩොලයිට් හෙවත් නිල් ඇස්බැස්ටස්

ඇස්බැස්ටස් බිත්ති තහඩු, ඇස්බැස්ටස් සිදුරු ඇහිරීම සදහා, තාප පරිවාරක ලෙස, මීල් බෝඞ් සදහා යොදාගනු ලැබූ අතර මේ වන විට සම්පුර්නයෙන්ම පාහේ භාවිතයෙන් ඉවත්කර ඇත.

වෙනත් ඇස්බැස්ටස් වර්ග

නීතියෙන් සීමා කරන ලද වෙනත් ඇස්බැස්ටස් වර්ග වන්නේ, ටේ‍රමොලයිට්, ඇක්ටිනොලයිට් සහ ඇන්තොෆිලයිට් ඇස්බැස්ටස් ය. මේවා සීමිත වශයෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය වල සහ තාප පරිවාරක ද්‍රව්‍ය තුල හමුවේ.

නිවසේ ඇස්බැස්ටස් හමුවිය හැකි ස්ථානasbestos-in-the-house

1. වහල තහඩු
2. අට්ටාලයේ පරිවරණය
3. අසව් සහ ධ්වනි කපරාරු
4. උදුන් පරිවාරක
5. දර ලිප්
6. පොළවට අතුරණ පිගන්ගඩොල්
7.පෝරණු පරිවාරක
8. නල පරිවාරක
9. බොයිලේරු පරිවාරක

ඇස්බැස්ටස් හානිකර වන්නේ ඇයි?

ඇස්බැස්ටස් හි හානිකරත්වය සදහා මූලිකව බලපානු ලබන්නේ ආශ්වාස කරන මුළු කෙදි ප්‍රමානයයි. හානි වන ලද හෝ තුවාල වන ලද ඇස්බැස්ටස් අඩංගු නිශ්පාදන මත හෝ අසල ගැවසීම හේතුවෙන් පරිසරයේ පවතින ඇස්බැස්ටස් කෙදි ප්‍රමාණයට වඩා සිය ගුණයකින් කෙදි ශරීර ගත විය හැක. මේ නිසාම මෙවන් පුද්ගලයන්ගේ ඇස්බැස්ටස් ආශ්‍රිත රෝග වැළදීමේ සම්භාවිතාවය ද ඉහලයයි.

ඇස්බැස්ටස් සිරුරට ඇතුලු වන්නේ කෙසේද?

ඇස්බැස්ටස් කෙදිති මගින් අපවිත්‍රනය වූ වාතය ආඝ්‍රාණය මගින් සිරුර තුලට ඇස්බැස්ටස් කෙදිති ඇතුලු වේ. විශාල ප්‍රමාණයේ කෙදිති සිරුරෙන් ඉවත් වුවද ඉතා කුඩා කෙදිති සිරුර තුල රැදෙමින් රෝග ඇතිකරයි.
ආහාර මාර්ගය හරහා ඇතුලු වන ඇස්බැස්ටස් කෙදිති ස්වාභාවිකවම සිරුර තුලින් ඉවත් වන අතරම සම හරහා ඇස්බැස්ටස් කෙදිති අවශෝෂණයක් සිදු නොවේ.

සෞඛ්‍ය ගැටලු

ඇස්බැස්ටෝස් කෙදි ආඝා්‍රණය නිසා පහත සදහන් මරණීය රෝග ඇතිවිය හැක.
1) පෙනහළු පිලිකා
2) ඇස්බැස්ටෝසිස්
3) මීසොතෙලියෝමා

බොහෝවිට ඇස්බැස්ටස් නිසා ඇතිවන මෙවන් රෝග අවුරුදු 15ත් – 60ත් අතර පුද්ගලයන්ගෙන් ප්‍රදර්ශනය වන අතර එවැනි රෝග ඇතිවීමේ ප්‍රවණතාවය,
1)නිරාවරණය වු ඇස්බැස්ටස් කෙදි වර්ගය
2)ආග්‍රහණය වූ කෙදිති ප්‍රමාණය
3)නිරාවරණය වූ වාර ගණන
4)දුම්බීම
5)වයස
මත තීරණය වේ.

දුම්බීම හා ඇස්බැස්ටස් නිසා ඇතිවන රෝග අතර සම්බන්ධය
අධික ලෙස දුම්පානය කරන පුද්ගලයන්ට ඇස්බැස්ටස්වලට නිරාවරණය වීම නිසා පෙනහළු ආශ්‍රිත පිලිකා ඇතිවීමේ ප්‍රවණතාවය ඉහල බව බොහෝ විද්‍යාත්මක අධ්‍යනයන්ගෙන් සොයාගෙන ඇත. දුම්බීම සිදුකරන ඇස්බැස්ටස් සේවකයන්ට සාපේක්ෂව දුම්බීම අත් හල ඇස්බැස්ටස් සේවකයන්ට පෙනහළු පිලිකා ඇතිවීමේ ප්‍රවණතාවය අවම බවට පැහැදිලි සාක්ෂි පවතී.

වළක්වා ගැනීම

ඇස්බැස්ටස් තහඩුවලින් රසායනික අපවිත්‍රනය සිදුවන්නේ ඵහි කෙඳි ගැලවීයාමේදී ය. එය අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීම සඳහා කැපීමේදී, පාසි හා දිය සෙවෙල් ඉවත් කිරීම සඳහා සීරීමේදී, ඇස්බැස්ටස් අඩංගු උපකරණ දිරාපත් වීමේදී, එවන් කසල ගොඩවල් මත සතුන්ගේ ලොම් හා පාද හරහා මෙන්ම දිරා පත්වන ඇස්බැස්ටස් කොටස් තැන තැන දැමීමේදී ගෘහාශ්‍රිත පරිසරයට ඇස්බැස්ටස් කෙඳි එක් වේ. මේවා ඉතා පහසුවෙන් ආඝ්‍රාණය විය හැක. තරමක් විශාල කෙඳිති ශ්වසනාලයේ රැඳී ශ්ලේශ්මල සමඟ ඉවත් විය හැකි වුවත් තුනී කෙඳිති පෙනහැල්ලේ තැම්පත් වේ. පර්යේෂණන්ට අනුව මිසොතෙලියොමා රෝගයට හේතු කාරක වන්නේ මයික්‍රො මීටර 0.1 – 5.0 දක්වා අතර වන ඇස්බැස්ටස් කෙඳිතිය.

මේ නිසා;

  • ඇස්බැස්ටස් තහඩු කැපීමේදී ජලයෙන් පොඟවා කපන්නේ නම් නිකුත් වන දූවිලි ප්‍රමාණය අවම වන අතර ඒවා අශ්වාස වීමද අවම වේ.
  • පිරිසිදු කිරීමේදී, සිරීම් නොකල යුතු අතර අව්වෙන් වැස්සෙන් වන ඛාදනය වැළැක්වීමට, තීන්ත තට්ටුවක් ආලේප කළ හැක.
  • නිවස/ පාසල ඇතුලතදී නිරාවරණය වීම අවම කිරීමට සිවිලිමක් යෙදීම හෝ තීන්ත ආලේප කිරීම සිදුකළ හැක.
  • ඇස්බැස්ටස් තහඩු බැහැර කිරීමේදී, ජාතික මට්ටමේ නිසි ක්‍රමවේදයක් සැකසෙන තුරු, ඒවා වළ දැමීම වඩා යෝග්‍ය ක්‍රමවේදය වේ.

By admin

I am Chalani H.T. Rubesinghe (Bsc. Nat.sc., MSc Env. Sc.). Being an environmental officer was my destiny rather than my desire. My favorite area of study is environmental toxics. I have performed research on chemicals in the environment and in consumer items, also shared those findings with the general public, during my carrier as an environmental officer. This website is an extension to that work in which I share my interests and stories. Do leave a comment if you enjoyed this article.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *