Save the environment, Save the future

පරිසරයෙන් පිඟානට එන රසායනික දූෂක! (Pollutants served from environment to your plate)

මෙය අසත්‍යයක් නොවේ. අද අප “පිරිසිදුවට” යැයි සිතා නිවසේ පිළියෙල කර ගන්නා ආහාර පවා නොයෙකුත් රසායනිකයන්ගෙන් අපවිත්‍රව පවතී. පළිබෝධනාශක, බැර ලෝහ, ආහාර රසකාරක මින් ප්‍රධාන වේ. ඇතැම් රටවල මෙම තත්වයන් බොහෝ දුරට නීතිමය වශයෙන් පාලනය කර තිබුනද ශ්‍රී ලංකාවේ තත්වය එතරම් සතුටුදායක නැත. යම් පළිබෝධනාශක වර්ගයක් තහනම් බවට ප්‍රසිද්ධ කල විගස එය වෙනත් නමකින් නොමැතිනම් ලේබලය රහිතව වෙළඳපොලේ විකුණනු ලබයි. ඇතැම් රසකාරක “දරුවන්ගේ හැසිරීම කෙරෙහි අහිතකර ලෙස බලපායි” යනුවෙන් යුරෝපීය වෙළඳපොළට නිකුත් කරන නිශ්පාදකයින් එවන් කිසිදු දැන්වීමකින් තොරව එම ආහාරයම ශ්‍රී ලංකාවේ විකුණනු ලබයි. ආහාර වල අඩංගු විය හැකි බැරලෝහ වර්ග සහ ප්‍රමාණ හුදෙක් පර්යේෂණ මාතෘකා පමණි.

සෞඛ්‍යමය බලපෑම

මෙවන් රසායනික මඟින් ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම් අපට නිතර අසන්නට ලැබේ. පිළිකා ඉන් ප්‍රධාන වන අතර, වර්ධනය වන දරුවන්ගේ මොළයට ඇතිවන බලපැම්, වයස් භේදයකින් තොරව වකුගඩු ක්‍රියාකාරීත්වයට, අක්මාවට, ප්‍රජනනයට ඇතිවන බලපෑම් වඩා හානිකර තත්ව වේ. විශේෂයෙන්ම බැලීමේදී අද ශ්‍රී ලංකාවේ පැතිරෙමින් යන හඳුනා නොගත් වකුගඩු රෝගී තත්වය රසායනික ශරීරගත වීමේ එක් කුඩා උදාහරණයක් පමණි. මෙවන් විශාල ඛේදවාචක ලොව පුරා හමුවේ. මිනමාටා බොක්කේ සිදුවූ රසදිය විෂවීම ඉන් එකකි. 1960 ගණන්වලදී සිදු වූ මෙම රසායනික විෂවීමට ගොදුරු වූ ජනතාව අදටත් එහි ප්‍රතිවිපාක විඳිමින් සිටී.

ආහාර වල සැඟවුණු අහිතකර රසායනික

කුඹුරට, එළවළු වගාවට පළිබෝධනාශක භාවිතා කරන ආකාරය දුටු විට,  ආහාර ලෙස පළිබෝධනාශකයම අනුභව කිරීමේ වෙනසක් ඇත්දැයි සිතෙන මට්ටමට වාණිජ කෘෂිකර්මාන්තය පත්වී ඇත. වගාවට බිම් සැකසීමේ පටන්, ශාක වර්ධනයට, කෘමීන් ඇතුළු පළිබෝධ පාලනයට, අස්වනු නෙලීම මෙන්ම ගබඩා කිරීම දක්වාම විවිධ රසායනික වගාවට යොදනු ලැබේ. මීට අමතරව ඉලෙක්ට්‍රොනික අපද්‍රව‍ය, කසළ පිළිස්සීම, වෙනත් රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම හරහා පොළවට සහ වාතයට එක් වූ අනේකවිධ රසායනික, ශාක මඟින් අවශෝෂණයකර ගනු ලබයි. මේ අනූව ඇතැම් විටෙක ගෙවත්තේ සිටුවන එළවළු සහ පළතුරු වලට විෂකාරක එක් කරනු ලබන්නේ අප විසින්මය. උදාහරණ ලෙස, බිඳුනු සී.එෆ්.එල් විදුලි බුබුල හෝ කණ්නාඩිය වල දමන්නේ කෙසෙල් පඳුර යට නම් ඔබගේ වත්තෙන් ගත් කාබයිඩ් නොගැසූ නැවුම් කෙසෙල් ඇවරියේ රසදිය නොමැති බවට ඔබට සහතික විය නොහැක. ඔබගේ වත්තේ ඇති ලිඳෙන් ගන්නා ජලයේ රසදිය නොමැති බවට සහතික විය නොහැක.

බැර ලෝහ

බැර ලෝහ ආහාර වලට මුසු වීම, විවිධාකාරයෙන් සිදුවේ. එනම්; වගාවේදී යොදන පළිබෝධනාශක සහ පොහොර හරහා, බැරලෝහ සහිත අපද්‍රව්‍ය බැහැර කිරීම මඟින් දූෂිත වූ පස සහ ජලය හරහා මෙන්ම ඇතැම් ආහාර ඇසුරුම් හරහා, යන මාර්ග වලිනි. මේ අතරින් සුවිශේෂ වශයෙන් සැලකිලිමත් විය යුත්තේ මත්ස්‍යයන්, ඉස්සන්, බෙල්ලන් වැනි ජලජ ජීවීන් සහ ඔවුන්ගෙන් නිපදවන ආහාර පිළිබඳවයි. එසේම, දූෂිත ජලාශ ආශ්‍රිතව, කැළි කසල බැහැර කරන ස්ථාන ආශ්‍රිතව වැඩෙන පලා වර්ග තුල ද එම දූෂිත එක් රැස් වී තිබිය හැක.

E-අංක

E-අංක (E-numbers) යනු ආහාර වලට යොදන රසායනික ද්‍රව්‍ය හඳුන්වන නාමකරණයක් වන අතර E අකුරින් Europe යන්නත්, අනිකුත් අංකයන්ගෙන් රසායනික ද්‍රව්‍යයකුත් හඳුන්වා දෙනු ලබයි. මෙම අංක අතරින් ,
100-199- දක්වා වර්ණකාරකයනුත්, 200-299 – කල්තබා ගැනීමේ රසායනිකත්, 300-399 – අම්ල, ප්‍රතිඔක්සිකාරක හා ඛණිජ ලුණු ආදී වශයෙන් නිරූපනය කරනු ලබයි. ලෝකයේ සිදුවෙමින් පවතින පර්යේෂණ වලට අනුව හා විවිධ රටවල නීති මගින් මෙහි ඇතැම් අංක භාවිතයෙන් තහනම් කර තිබේ.  සෑම අංකයක්ම සෞඛ්‍යයට අහිතකර නොවුවද වෙනත් රටවල තහනම් කරන ලද හා පර්යේෂණ මඟින් අහිතකර බවට සනාථ කරන ලද E-අංක අඩංගු ආහාර නොගැනීම නුවණට හුරු වේ. එවැනි අංක කිහිපයක් නම්;

E102 දරුවන් තුල අධි ක්‍රියාකාරී හැසිරීමට හේතු වේ.
E104 දරුවන් තුල අධි ක්‍රියාකාරී හැසිරීමට හේතු වේ.
E110 දරුවන් තුල අධි ක්‍රියාකාරී හැසිරීමට හේතු වේ.
E124 දරුවන් තුල අධි ක්‍රියාකාරී හැසිරීමට හේතු වේ.
E129 දරුවන් තුල අධි ක්‍රියාකාරී හැසිරීමට හේතු වේ.
E210 ආහාර දිරවීමේ ක්‍රියාවලියට බාධා කිරීම නිසා උදරාබාධ ඇතිවිය හැක. භාවිතය නිසා, හිසරදය සහ සම ආශ්‍රිත ගැටළු ඇතිවිය හැක.
E471 පර්යේෂණයන්ට අනූව අධික පරිභෝජනය; ස්ථුලතාවය, දියවැඩියාව, හෘදයාබාධ, කොලෙස්ටරෝල් වැනි සෞඛ්‍යමය ගැටළු වලට හේතුවිය හැක.
E412 ආහාර ජිර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මත අහිතකර බලපෑම් ඇතිකල හැක.
E466 භාවිතයේ අතුරු ආබාධයන් ලෙස; පෙනීම බොඳ වීම, දැවීම වැනි සංවේදනය, ඇස් වල වේදනාව, ඇස් රතු වීම ආදිය ඇති විය හැක.
E407 ආසාත්මිකතාවයන් ඇතිවිය හැක. කැසීම, කුෂ්ඨ දැමීම, දැවීම වැනි සංවේදනය, උදරාබාධ ආදිය දැනට හඳුනාගෙන ඇති සමහරකි.
E621 කලක් ඉතා ප්‍රකට ආහාර රසකාරකයක් වූ මෙයට, ඉන් ඇතිවන අතුරුආබාධ නිසාම “රතු” සංඥාව නිකුත් වී ඇත. උදරාබාධ, ඔක්කාරය, හිසරදය, ස්වසන අපහසුතා මෙන්ම දිගු කාලීනව ඇතිවිය හැකි අස්ථි දුර්වලතා දැනට ඉදිරිපත් කර ඇති ආසාත්මික ප්‍රතික්‍රියා වේ.

ප්ලාස්ටික්

ප්ලාස්ටික් අපගේ ආහාර පාන වලට මුසු විය හැකි ආකාර කිහිපයක් මෑත කාලීනව සිදුකරන ලද පර්යේෂණ මඟින් තහවුරු කර ඇත. ඉන් ප්‍රධාන ආකාරය වන්නේ ප්ලාස්ටික් හෝ පොලිතීන් ඇසුරුම් හරහා රසායනික ආහාර පාන වලට මුසු වීමයි. මීට අමතරව, ජලාශ වලට එක්වන විශාල සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ග ජලජ ශාක සහ සතුන් හරහා ශරීරගත විය හැක. මෙම විශාල සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ග යනු අන් කිසිවක් නොව, මිනිසුන් විසින්ම මුදා හරිනු ලබන පොලිතීන් කවර, ප්ලාස්ටික් බෝතල්, රෙදිපිළි හරහා පරිසරයට එක්වන කෘතීම කෙඳි වර්ග සහ පවිත්‍රකාරක විලවුන් වල (ඇතැම් ෆේස් වොෂ්, ස්ක්‍රබ්, ෂවර් ජෙල්, දන්තාලේපන… ආදියෙහි) ඇති මයික්‍රොබීඩ් නැතහොත් ක්ෂුද්‍ර පබලු ආදියයි.

ජාන වෙනස් කල ආහාර

ජාන වෙනස් කල ආහාර භාවිතයෙන්, ආහාර මාර්ගයේ පිළිකා, පියයුරු පිළිකා, ඇදුම, සම කැසීම, සොටු දියර ගැලීම, බඩවැල් වල තුවාල වැනි රෝගී තත්ත්වයන් මිනිසුන් අතර බහුල වීමට හේතු විය හැකි යැයි වෛද්‍යවරු සැක පල කරති.

ඔබට කල හැක..

තත්වය මෙසේ හෙයින්, රටේ නීතිය වෙනස් කිරීමටත්, වැරදිකරුවන් යහමගට ගැනීමටත් ප්‍රථම, අනවශ්‍ය රසායනික ශරීරගතවීම වළක්වා ගැනීමට පියවර ගැනීම සැමටම යහපත් වනු ඇත.

  • ආහාරයට ගැනීමට පෙර ඔබගේ එළවළු ගලායන ජලයෙන් හොඳින් සෝදන්න.
  • හැකි සැම විටම එළවලු සහ පළතුරු වල පිට පොත්ත ඉවත් කරන්න.
    වාෂ්පශීලී පළිබෝධනාශක ඉවත්වීම සඳහා, එළවලු නිවසට ගෙනා පසු මද වේලාවක් තබා පසුව ශීතකරණයට දමන්න.
  • අවම වශයෙන් පලා වර්ග නිවසේ වගා කරගන්න.
  • කාබයිඞ් යෙදූ පලතුරු මිලදී ගැනීමෙන් වළකින්න.ස්වාභාවික පලතුරු ඉදීමේ රටාව නිරීක්ෂණය කරන්නේ නම්, කෘතීමව ඉදවූ පලතුරු හඳුනා ගැනීම වඩා පහසු කාර්යයකි.
    උදාහරණ ලෙස; කෘතීමව ඉදවූ අඹ ගෙඩියක පිටතත්, ඇතුලතත් ලා මලානික කහ පැහැයක් ගනී. රසයක් නැත. ගෙඩිය පුරාම එකලෙස ඉදී ඇත. ගස්ලබු ද කෘතීමව ඉදවන ලද්දේ නම් පිටතත්, ඇතුලතත් ලා මලානික කහ පැහැයක් ගනී. රසයක් නැත. ගෙඩිය පුරාම එකලෙස ඉදී ඇත
  • මස් සහ මාළු ආහාරයට ගැනීමට පෙර හොඳින් පිස ගන්න.
  • මාළු වල, හිස, ආහාරමර්ගයේ කොටස්, කරමල් සහ මස් වල සම වැනි මේදමය කොටස් ආහාරයට ගැනීමෙන් වළකින්න. මේවායේ බහුලව පළිබෝධනාශක සහ බැර ලෝහ තැම්පත්වීම සිදුවේ.
  • ගර්භනී කාන්තාවක් හෝ කිරිදෙන මවක් නම් විශාල විලෝපික මසුන් වන මෝරුන්, තලපත්, කොප්පරා වැනි මසුන් ආහාරයට නොගැනීම සුදුසු ය. මෙම මසුන් ආහාරයට ගන්නේ නම් වෙනත් මසුන් ආහාරයට නොගත යුතුය (එවිට නිරාවරනය වන දූෂක ප‍්‍රමාණය වැඩිවන බැවින්). එසේම බලයන් සතියට දෙවරකට වඩා ආහාරයට නොගැනීම උචිතය. මෙය කුඩා දරුවන්ටත් වලංගු වේ. මත්ස්‍යයන් හරහා අපට අත්‍යවශ්‍ය ඔමෙගා 3 නම් මේද අම්ලය ලැබෙන බැවින් දූෂක අවම වන, ආහාර දාමයේ පහළින් සිටින කුඩා මසුන්, බහුලව ආහාරයට එක් කර ගැනීම මිස මාළු ආහාරය අත හැරීම නුසුදුසු ය.
  • ආහාර මිලදීගැනීමේදී කල් ඉකුත්වන දිනය සහ අඩංගු ද්‍රව්‍ය පරීක්ෂා කර බලන්න.
  • “පෙර පිසින ලද” හෝ ටින් කල ආහාර මිලදී ගැනීමේදී; බඳුන ඇඹී, පලුදු වී හෝ මලකඩ නොකා ඇත්දැයි පරීක්ෂා කර බලන්න. පලුදු වූ බඳුන් වලින් එහි අඩංගු රසායනික, ආහාර වලට මිශ්‍රවිය හැක. එසේම වරක් විවෘත කල පසු නැවත එම බඳුනේම ආහාර තැබීමෙන් හෝ ශීත කිරීමෙන් වළකින්න. මෙම බඳුන් විවෘත කිරීමේදී අසාමාන්‍ය ගන්ධයක් හෝ කිරි පැහැයට හුරු ද්‍රවයක් දුටුව හොත් රස නොබලාම ඉවත දමන්න!
  • පිසූ ආහාර ශීතකර කල්තබා ගැනීම වඩා උචිත වේ. පිස ගැනීමෙන් පැය 2ක් ඇතුලත ශීතකරණයකට දැමීම ඉතා යෝග්‍ය වන අතර නැවත ආහාරයට ගැනීමේදී දුම් දමන තුරු රත් කල යුතු වේ.

මීට අමතරව, ආයුර්වේද වෛද්‍යවරුන් පවසන අන්දමට ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග පැතිරීමේ එක් සාධකයක් වන්නේ අපගේ ආහාර රටාව වෙනස් වීමයි. වියළි කලාපයේ වෙසෙන ජනයා, වියළි කලාපයේ සුපුරුදු එළවලු වර්ග වෙනුවට තෙත් කලාපයේ එලවළු වර්ග බහුලව ආහාරයට ගැනීමත්, ස්වභාවික කුළුබඩු වලින් දුරස් වීමත්, විරේකය වැනි සාම්ප්‍රදායික ශරීර පවිත්‍රකාරක ක්‍රියාවලීන්ගෙන් ඈත් වීමත් මින් කිහිපයක් වේ. සුදු ළුණු, සැල්දිරි, ආදිය ආහාර වල බැර ලෝහ ඉවත් කරන බවටත් එසේම විටමින් “සී” බහුල එළවලු සහ පළතුරු මඟින් බැර ලෝහ වල විෂ නසන බවටත් පර්යේෂකයන් හෙලි කර ඇත. එමෙන්ම, කොළ පැහැ පලා වර්ග (නිවිති, කොත්තමල්ලි කොළ, කොළ ගෝවා,.. වැනි ) ඒවායේ ඇති ප්‍රති ඔක්සිකාරක ගුණය හේතුවෙන් ශරීරයේ විෂහරණයට දායක වන බවටත් පෙන්වා දී ඇත.

බඩ විරේකය, ආයුර්වේදයේ යොදාගනු ලබන්නේ උදරය පිරිසිදු කිරීමට සහ උෂ්ණය නිසා හට ගන්නා ඇතැම් රෝග හඳුනා ගැනීමටය. එසේ වුවද නිරෝගී දිවි පැවැත්මක් උදෙසා වසරකට වරක් හෝ විරේකයක් සිදු කර ගැනීම මඟින් ශරීර අභ්‍යන්තරය පිරිසිදු වන බව විශ්වාස කරයි. වෛද්‍ය ක්‍රමයට අනූව විරේකයක් සිදු කිරීම පියවර කිහිපයකින් යුත් ක්‍රියාවලියකි. නමුත්, ඉපැරණි මුළුතැන්ගෙයි මේ සඳහා පලා වර්ග ද භාවිතා කර ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ කිවුලේවත්ත ගම්වාසීන්ට අනූව ඇත්තෝර කොළ මැල්ලුම, ඇහැළ කොළ මැල්ලුම හෝ කිරල දලු මැල්ලුම ආහාරයට ගැනීමෙන් බඩ විරේකය සිදුවේ.

බඩ විරේකය

බඩ විරේකයක් කිරීමට අරළු කුඩු කලං 6 ක්, සූකිරි කලං 6 ක්, සහිඳ ලුණු කලං 01 තැඹිලි ගෙඩි එකක් සපයා ගත යුතුය. සවස 6.00 හෝ 7.00 ට තැඹිලි ගෙඩියක් කපා ඉහත ද්‍රව්‍ය එක්කර නැවත තැඹිලි ගෙඩියේම කැපූ කැබැල්ලෙන් වසා පින්නට නිරාවරණය කළ යුතුය. මෙම පානය පිරිසුදු රෙදි කඩකින් 7 වරක් පමණ පෙරා හිස්බඩම පානය කිරීම වැදගත් සේම තෙල් සහිත හා මාංශමය ආහාර ආහාරයට නොගැනීමත් වැදගත්ය. http://hair.tharunaya.us/show1.php?id=1475833188

අරළු කුඩු, වැල්මී කුඩු කලඳ බැගින් ගෙන කිතුල් හකුරු සමඟ අඹරා රාත්‍රී කෑමට පසු ගිලින්න. උණු වතුර බොන්න. වැඩියෙන් උණු වතුර බීව තරමට වැඩියෙන් විරේක වේ. නවතින්න තැඹිලි හෝ කුරුම්බා වතුර බොන්න. http://priyani.mohanjith.net/blog/2009/01/%E0%B6%B6%E0%B6%A9-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/

වාතය, ජලය, සම හරහා රසායනික ශරීරගත වීමේ අවධානය අධිකව පවතින මෙවන් වාතාවරණයක් යටතේ, අවම වශයෙන් අපගේ ආහාර පාන හරහා හෝ අනවශ්‍ය රසායනික ඇතුළුවීමේ අවධානය අවම කර ගැනීම වැදගත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *